ආපදා තත්ත්වයන් මත මානසික පීඩනයට ලක්වුවන්ට 1926 හරහා අවශ්‍ය උපදේශනය.

0
117

ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙයි.

මෙවැනි ආපදා තත්ත්වයකින් පසුව එය අපේ මනසට ඍජුවම බලපෑම් කළ හැක. මේ හේතුවෙන් ජනතාව තුළ මානසික පීඩනය ඇති වීම සාමාන්‍ය දෙයක් බවත් රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.

එවැනි පීඩනයකට ඔබ ලක්ව සිටින්නේ නම් ප්‍රථමයෙන් ගැටලුව හඳුනා ගත යුතු අතර පසුව එම ගැටලුවට කුමක් කළ යුතු ද යන්න විසඳුම හඳුනා ගත යුතු බවද එහිදී ඔහු පැවසීය.

එමෙන්ම යම් කෙනෙකු මෙම තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍යය උපදෙස් ලබා ගන්නා ලෙසද වෛද්‍යවරයා දැනුම් දී සිටී.

වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ව්‍යසනය හේතුවෙන් දරුවන් පීඩන‍යට පත්ව ඇත්නම් ඔවුන්ගේ ජීවිතය හැකිතාක් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළ යුතු බවය.

උදාහරණයක් ලෙස, හැකි ලෙසකින් ඔවුන්ට සෙල්ලම් කිරීමට වටපිටාවක් නිර්මාණය කරදීම, යාලුවෝ මුණ ගැසීමට අවස්ථාවක් සලසා දීම වැනි දේ කළ හැකි බව ද වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.