මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අදයි

0
2

NEWSNOW | –  මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) සිදුකිරීමට නියමිතය.

එම රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී අද ප.ව. 2ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙවර මෙම තනතුර සඳහා 7 දෙනෙකු ඉදිරිපත්වීමට සූදානමින් සිටියි.

ඒ අනුව වත්මන් වැඩබලන දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල, කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරු ඉදිරිපත්වීමට නියමිතය.

ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ, එම විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී ගාමිණී කළුහෙන්ඩිවල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතරමහා දේවාලයේ ප්‍රධාන භාරකරු සහ ව්‍යාපාරික රොෂාන් ප්‍රියදර්ශන, විශ්‍රාමික හමුදා කර්නල් නන්ද මඩුගල්ලේ යන මහත්වරුද මේ සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බව සඳහන්ය.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව මහා සංඝරත්නයේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකු මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

විහාර සහ දේවාලගම් ආඥා පනතට අනුකූලව දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය වසර 10ක් වේ.

ඒ අනුව අද දිනයේ පත්වන දියවඩන නිලමේවරයාට 2035 දක්වා සේවය කිරීමට හැකියාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here