NEWSNOW | – ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමගම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක්, ප්‍රථම මංගල ගුවන් ගමනෙහි (Inogaral Flight ) නිරත වෙමින් අද (31) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
පෝලන්තයේ එන්ටර් එයාර් නැමති ගුවන් සේවයට අයත් මෙම ගුවන් සේවා සමාගම මෙම ගුවන් ගමන සදහා බෝයිං – 737 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදවා තිබුණි.
මෙහි පළමු ගුවන් යානය 10/31 දින උදෑසන 09.50 ට පෝලන්තයේ කටෝවිස් (Katowice ) ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, එම යානය ජල ආචාර (water salute) පවත්වා උසස් අන්දමින් ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය.
මෙහි දෙවන ගුවන් යානය 10/31 දින දහවල් 11.00 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට (Warsaw ) සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානා දෙකෙහි ගුවන් මගීන් 378 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටියහ.
මෙම පෝලන්ත එන්ටර් එයාර් ගුවන් යානා සතියකට 08 වරක් පෝලන්තයේ කටෝවිස් සහ වෝර්සෝ යන ගුවන් තොටුපොළ වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.
 
  
 

