NEWSNOW | – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක් ගොඩනැංවීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන්ට සිය කැමැත්තෙන් ඉදිරිපත්ව පුනරුත්ථාපනයවීමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් පුනරුත්ථාපන කාර්යාංශයේ පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වැලිකන්ද නව සේනපුර නවෝදා තෘතිය හා වෘත්තිය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීම වෙනුවෙන් එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ අද (16) පෙරවරුවේ පැවති උත්සවයට සහභාගිවෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය. “මත්ද්‍රව්‍ය උවදුර මේ රටින් තුරන් කිරීමට නම් ඒ සඳහා පවතින ඉල්ලුම සහ සැපයුම් නතර කළ යුතුයි. සැපයුම නතර කිරීමේ කාර්යය පොලීසිය ඇතුළු අංශ විසින් සිදු කරනවා. මීට පෙර දේශපාලඥයන් මත්ද්‍රව්‍ය තුරන් කරන බවට සදහන් කළේ මැතිවරණ කාලයේදී පමණයි. වර්තමානය වන විට මේ උවදුර තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. පාතාලය වර්ධනය වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය තුළින් උපයා ගන්නා මුදල්වලින් බව කිව යුතුයි. මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් හේතුවෙන් රටට බිලියන ගණනක පාඩුවක් සිදු වෙනවා. අද වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් විසිතුන් දහසකට අධික පිරිසෙන් පහලොස් දහසකට අධික පිරිසක් මත්ද්‍රව්‍ය හේතුවෙන් බන්ධනාගාරගත වුවන් නිසා විය හැකියි. පුනරුත්ථාපනය වු පුද්ගලයින් පිළිබද සමාජය තුළ පවතින්නේ යහපත් ආකල්පයක් නොවන බැවින් පුනරුත්ථාපනය යන වචනය පවා වෙනස් විය යුතුයි. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු පුද්ගලයා වින්දිතයෙක් රෝගියෙක් ලෙස අපි අවබෝධ කර ගත යුතුයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සමාජයේ පවතින මතය හේතුවෙන් ඒවා විකුණන පුද්ගලයින් හා ඇබ්බැහිවුවන් යන දෙපාර්ශවයම කෙරෙහි පවතින්නේ වෛරී සහගත ආකල්පයක් බව කිව යුතුයි.
නමුත් මතට යොමු වු වින්දිතයා පුනරුත්ථාපනය කර ඔහුගේ පෞරුෂ වර්ධනයට අපි කටයුතු කළ යුතුයි. ඇබ්බැහිවු පුද්ගලයාට අවශ්‍ය වන්නේ උපදේශනයයි. මතට ඇබ්බැහිවුවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මෙවැනි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරනවා. මේ උවදුරින් සමාජය බේරා ගැනීම වෙනුවෙන් සියලු දෙනා තුළ ආකල්ප වර්ධනයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් පුනරුත්ථාපන කාර්යාංශය කටයුතු කරමින් සිටිනවා. තමන්ට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට තවත් කෙනෙක් විනාශ කරන්න එපා. පවතින නීතියෙන් පමණක් මත්ද්‍රව්‍ය පාලනය කළ නොහැකි බැවින් මෙම ව්‍යසනය ජාතික උවදුරක් බවට වටහා ගනිමින් එය තුරන් කිරීමට සමාජයම එක් විය යුතුයි. විශේෂයෙන් මතට ඇබ්බැහි විය හැකි අවදානම් සහිත පුද්ගලයින් දරුවන් හඳුනා ගැනීමේ බිම් මට්ටමේ ක්‍රමවේදයක් අවශ්‍ය බවද අමාත්‍යතුමා සදහන් කළේය.
පුනරුත්ථාපන කාර්යාංශය මගින් මෙතෙක් පුනරුත්ථාපනය කරනු ලැබුවේ අධිකරණ නියෝග මත යොමු කරනු ලබන පුද්ගලයින් පමණි. නව ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ මතට ඇබ්බැහි වු පුද්ගලයින්ට තම ආකල්ප සහ කුසලතා වර්ධනය කර ගනිමින් සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය වීමේ හැකියාව තිබේ.
සිය කැමැත්තෙන් ඉදිරිපත්ව පුනරුත්ථාපනයවීමේ ක්‍රියාවලියෙහි සමාරම්භක උත්සවයෙන් අනතුරුව නවෝදාව තෘතිය සහ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉදි කර තිබෙන දෙමහල් ගොඩනැගිල්ල විවාත කිරීම ද සිදු විය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස ඉදි කිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපති මහාචාර්ය වසන්තා සුභසිංහ, සේනපුර නවෝදාව තෘතිය සහ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ අධිකාරි කර්නල් හේමන්ත කුමාර, යන මහත්ම මහත්මීන් අදහස් පළ කළ අතර, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්මසිරි බණ්ඩාර, නැගෙනහිර සේනා අඥාපති මේජර් ජනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර, පොලොන්නරුව දිසාපති ඊ.එම්.ඩී.එස්.ඒකනායක, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, බ්‍රිගේඩියර් එම්.එස්.අමිත්, වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපති ඩී.ඩබ්ලිව්.වසන්ත, පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග යන මහත්වරුන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.