ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට තවදුරටත් චීනයේ සහාය

0
12

NEWSNOW | – ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

අද(14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහාශාලාවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූ අවස්ථාවේ චීන ජනපතිවරයා මේ බව කියා සිටියේය.

චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම, කලක සිට පවතින්නක් වන අතර, සාම සහජීවන පංචශීලී ප්‍රතිපත්තිය මත පදනම් කර ගනිමින් දෙරට ද්විපාර්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.

මෙමඟින්, වෙනස් රටවල් අතර, මිත්‍රශීලීව හැසිරීම හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත සහයෝගිතා පැවැත්වීමේ ආදර්ශයක් බිහිකර ඇති බවත් සිය අසල්වැසි රටවල් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ චීනය ශ්‍රී ලංකාවට සැමවිට ම ප්‍රමුඛත්වය ලබා දෙන බවත් චීන ජනපතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සමඟ එක්ව, සාම්ප්‍රදායික මිත්‍රත්වය, සහයෝගිතා තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාව පොදුවේ ගොඩනැංවීමටත් දෙරටේ ජනතාවට වඩාත් සුබසෙත සැලසීමටත් චීනය සූදානම් බව ද ෂී ජින්පිං මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර, සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය, ‍භෞමිත අඛණ්ඩතාව ආරක්ෂා කරන ශ්‍රී ලංකාවට චීනය සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමග එක්ව, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගුණාත්මක අයුරින් පොදුවේ ගොඩනැංවීමට සූදානමින් සිටින චීනය, වරාය ආර්ථිකය, නවීන කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, සංචාරය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගිතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවත් චීන ජනපතිවරයා පවසයි.

එමඟින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට පිටුබලයක් සැපයීම චීනයේ අපේක්ෂාව වන අතර, නීති බලාත්මක කිරීම පිළිබඳ ආරක්ෂක සහයෝගිතා පැවැත්වීම, අන්තර් ජාතික විදුලි සන්දේශ අපරාධ මර්දනය කිරීම මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික රාමුවන් යටතේ වන සම්බන්ධීකරණ හා සහයෝගිතා තවදුරටත් තහවුරු කළ යුතු බව ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේදී ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ප්‍රකාශය ගැඹුරු අර්ථයෙන් යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එහිදී ප්‍රකාශ කළාය.

ලෝක කාන්තා ව්‍යායාමය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ලබා දුන් වැදගත් කර්යාභාරයක් ඉන් පිළිබිඹු වූ බවද ඇය මෙහිදී සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here