NEWSNOW | – සැප්තැම්බර් මස 30 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර පරිවර්තන දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින (30) සංවිධානය කර තිබු උත්සවය අමතමින් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆ්ෆෙර් මහතා මෙම අදහස් පළ කරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.
පරිවර්තකයින්ට භාෂාව තුළින් එකිනෙකා තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. වත්මන් රජයට අවශ්‍ය වන්නේ එකිනෙකා අතර අවබෝධය ඇති කිරීමයි. සාමය හා සංහිඳියාව ගොඩ නැගීම රජයක් ලෙස වගකීම බව අපි තේරුම් ගනිමින් පරිවර්තන ක්ෂේත්‍රය තුළ පවතින ගැටළු පිළිබඳව අවබෝධයෙන් යුතුව ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම පරිවර්තන සේවය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් රජයක් ලෙස ලබා දෙනවා. ලෝකයේ රචනා වන ඉතා විශිෂ්ඨ පරිවර්තන කෘති සියලු භාෂා කථා කරන ජනතාව වෙත ගෙන යනු ලබන්නේ පරිවර්තන තුළින් බව අපි වටහා ගත යුතුයි. සිමෙන්ති වලින් පාලම් තැනීමේ හැකියාව පවතිනවා සේම භාෂාව තුළින් පාලම තැනීමේ හැකියාව පරිවර්තකයාට පවතිනවා. විවිධ භාෂා තුළින් පරිවර්තන සිදු කරන පරිවර්තකයා ජාතිවාදී සහ ආගමිවාදී නොවන බවද නියෝජ්‍ය අමාත්‍යතුමා සඳහන් කළේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, භාෂණ තානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි.
විශ්වසනීය අනාගතයක් ගොඩ නඟන භාෂා පරිවර්තනය යන තේමාව යටතේ ජාත්‍යන්තර පරිවර්තන දින උත්සවය පැවති අතර, විද්වත් සංවාද, පරිවර්තන කෙටි කතා එකතුව එළි දැක්වීම සහ භාෂා පරිවර්තක සේවය ඇගයීම මීට සමගාමීව සංවිධානය කර තිබුණි.
පරිවර්තන කෙටි කථා සංග්‍රහය අධිකරණ අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු කළ අතර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක ප්‍රවීණ ලේඛක චුලානන්ද සමරණායක මහතා විසින් පරිවර්තන සේවය වෙනුවෙන් සිදු කළ සේවය අගය කරමින් උපහාර දැක්වීමද මෙහිදී සිදු විය.
භාෂා පරිවර්තකයින්, අර්ථ කථනය කරන්නන්, පාරිභාෂික ශබ්දකෝෂ සම්පාදකයින්ට ගෞරව දැක්වීම සඳහා මෙම දිනය සමරනු ලබන අතර, 2017 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැප්තැම්බර් 30 වන දිනය නිල වශයෙන් ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, තිලක් නන්දන හෙට්ටිආරච්චි, රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාය ආචාර්‌ය ධම්මික ජයසිංහ මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රිද්ම හඳපාන්ගොඩ, භාෂා පරිවර්තන අධිකාරී නලින් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මින් ජාත්‍යන්තර පරිවර්තන භාෂා දින උත්සවය අමතමින් අදහස් පළ කරන ලදී.