NEWSNOW| – වායුගෝලයේ ගුණාත්මකභාවය හඳුනාගැනීම සඳහා ක්‍රියාත්මක කරන “ජාතික වෙබ් අඩවිය” මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2025 සැප්තැම්බර් මස 08 වැනි දා ජනගත කරන ලදී. සැප්තැම්බර් මස 07 වැනි දිනට යෙදී තිබෙන “ජාත්‍යන්තර නිල් අහස් දිනය” හෙවත් “International Day of Clean Air for Blue Skies˜” දිනයට සමඟාමීව පැවැති සැමරුම් උත්සවයේ දී වෙබ් අඩවිය ජනගත කෙරිණ.
සංසරණ වායුවේ ගුණාත්මකභාවය පිළිබඳව මෙම වෙබ් අඩවිය ඔස්සේ දැනුම්වත් විය හැකිය. “නැශනල් එයා කොලිටි නෙට්වර්ක්” (National Air Quality Network යන නාමයෙන් ක්‍රියාත්මක කරන මෙම වෙබ් අඩවියට www.aq.cea.lk යන වෙබ් සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය. මෙය ශ්‍රී ලංකාවේ සංසරණ වායුවේ ගුණාත්මකභාවය වෙනුවෙන් ක්‍රියාත්මක කරන නිල වෙබ් අඩවිය යි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දත්ත ඇතුළත් කර ඇති මෙම වෙබ් අඩවිය මගින් මුළු දිවයින ම ආවරණය වන පරිදි සංසරණ වායුවේ ගුණාත්මකභාවය පිළිබඳ තත්කාලීන දත්ත ලබාගත හැකිය.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් මනිනු ලබන දත්ත සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් මනිනු ලබන දත්ත මෙම වෙබ් අඩවියේ ඇතුළත් කර තිබේ. සංසරණ වායු තත්ත්වය පිළිබඳ දත්ත ලබා ගන්නා අනෙක් ආයතන මෙම වෙබ් අඩවිය සමඟ ඉදිරියේ දී සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කෙරේ. වායුගෝලයේ ගුණාත්මකභාවය හඳුනාගැනීමේ “ජාතික වෙබ් අඩවිය” සැකසීම සඳහා වන මූල්‍ය දායකත්වය වාහන වායු විමෝචන භාරකාර අරමුදල මගින් සපයා දෙන ලදී.
සැමරුම් උළෙලේ දී වායුගෝලයේ ගුණාත්මකභාවය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව ද වෙබ් අඩවිය පරිශීලනය කළ හැකි ආකාරය පිළිබඳව ද දේශන පවත්වමින් පැමිණ සිටි පිරිස දැනුම්වත් කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ අද (08) පැවැති මෙම සැමරුම් උළෙල සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ඇතුළු නිලධාරීහු, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.