NEWSNOW| – අද දිනට යෙදෙන මීලාදුන් නබි දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.
එම පණිවිඩය මෙසේය.
ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද්-උන්-නබි උත්සවය අදට යෙදී තිබේ.
ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමන් වූ මුහම්මද් නබි නායකතුමන් දැහැමි සමාජයක් ගොඩනැඟීම සඳහා කැප වූ සහ ඒ වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආගමික ශාස්තෘවරයෙකි. එසේම, ඉස්ලාම් හර පද්ධතියක් ඇති කිරීමෙහි පුරෝගාමියා වන්නේද එතුමායි
එකල සමාජයට ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේදී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසිම සහ නිහඩතාව එතුමාගේ සියුම් ආයුධ විය. භේද-භින්නව පැවති අරාබි සමාජය වෙනුවට, ඉස්ලාම් දහමේ හරය සහ අර්ථය දරා සිටින, සහෝදරත්වයේ, සාමයේ සහ පරිත්‍යාගයේ දර්ශනය පෙරදැරි කර ගත් උතුම් සාරධර්ම සපිරි සමාජයක් නිර්මාණය කරලීමට වසර 23ක කාලයක් පුරා සිය දේශනාවෙන්, ක්‍රියාවෙන්, පරිත්‍යාගයෙන් මෙන්ම ජීවනාදර්ශයෙන් නබි නායකතුමා කැප වූහ.
එතුමන්ගේ ඉගැන්වීමෙහි පදනම වූයේ ජාතියෙන්, කුලයෙන් හෝ වර්ණයෙන් එක් පුද්ගලයෙකු තවත් කෙනෙකුට වඩා උසස් හෝ පහත් නොවන බවට වූ සමානාත්මතාව පිළිබඳ මහඟු සංකල්පයයි. සමාජයේ ඇති නැති පරතරය සහ දුරස්බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, වත්මනෙහි අප හමුවේ ඇති සමාජමය අභියෝග ජය ගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බව මගේ විශ්වාසයයි.
සෑම ලෙසකින්ම බිඳුණු අප සමාජයට මනුෂත්වය සහ ප්‍රේමය කැටුව එමින් නව හර පද්ධතියක් මත රට උසස් තලයකට ඔසවා තැබීමට අප දරන වෑයමේදී, අප හා ඒ ගමනට එක්ව සිටින ඔබ සැමට නබි නායකතුමන්ගේ සැබෑ ජීවනාදර්ශය ජීවිතවලට සමීප කර ගනිමින් මෙවර මිලාද්-උන්-නබි සැමරුම වඩා අර්ථවත් කර ගැනීමට ආරාධනා කරමි.
ශ්‍රී ලාංකික සහ ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට අර්ථවත් මීලාද්-උන්-නබි උත්සවයක් වේවා!
උපුටා ගැනීම අවසන්.