ක්‍රියාශීලී නීරෝගීමත්  ජීවන රටාවක් සඳහා මෙරට ජනතාව යොමුකරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගන්නා ප්‍රයත්නය අගයයි

0
17

වර්තමානය වන විට මෙරට ජීවත්වන ජනතාව අතර යම් වර්ධනයක් පෙන්නුම් කෙරෙන බෝනොවන රෝග පාලනයටත්, ඉන් ආරක්ෂා වීම සදහාත් ව්‍යායාමවල යෙදීමේ  අතිශය වැදගත්කම  පිළිබඳව ජනතාව දැනුවත් කර  ශාරීරික සුවතා  ක්‍රියාකාරකම්වලට ජනතාව හුරුකරවමින්, සෞඛ්‍ය සම්පන්න, ක්‍රියාශීලී නීරෝගීමත්  ජීවන රටාවක් සඳහා මෙරට ජනතාව යොමුකරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගන්නා ප්‍රයත්නය කාලීන ව අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසී ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ  ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLSMA) පස්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වෙමිණි. සැසිවාරය පසුගිය දා  කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්විණි.

පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය  කළමනාකරණය කරමින් අවශ්‍ය උපදේශනය, මඟපෙන්වීම ඇතුළු සියලු සහාය ලබා දෙමින් මෙරට මලල ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩාවන්හි වර්තමාන සහ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී විශිෂ්ට කාර්යභාරයක් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්  ඉටුකරන බව නියෝජ්‍ය  අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

මෙරට රජයේ රෝහල් පද්ධතියේ ප්‍රධාන රෝහල්හි  ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකක යම් ප්‍රමාණයක් මේ වන විට ස්ථාපිත කර ඇති බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ තුළින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය සංවර්ධනයට,ප්‍රවර්ධනයට සහ සුරක්ෂිතතාවයට මෙන් ම සෞඛ්‍ය අධ්‍යාපනය ද ට  විශාල දායකත්වයක් ලබා දෙන බව ද පැවසී ය.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට ගෝලීය වශයෙන් දීර්ඝ ඉතිහාසයක් පවතින බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මෙරට තුළ ද දශක තුනකට එහා ගිය ඉතිහාසයක් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට පවතින බව ද සඳහන් කර සිටියේ ය. මෙරට වර්තමානය වන  විට  ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සුවිශේෂී ප්‍රගතියක් අත්කර ‌ගෙන තිබෙන බවත්,  සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යනු ලබන රෝග නිවාරණ හා ප්‍රතිකාර ක්‍රියාවලියේ දී  එම සුවිශේෂී ප්‍රගතිය ඉමහත් දායකත්වයක් ලබා දෙන බව ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ය.

මෙවැනි වාර්ෂික අධ්‍යයන සැසිවාර ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැනුම බෙදාගැනීමට මෙන් ම දැනුම වර්ධනය කර ගැනීමට බෙහෙවින් උපකාරීවන බවත්, 2025 අධ්‍යයන සැසිවාරයේ තේමාව වන”ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳ වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමෙන් අස්ථි සහ පේෂීවලට සිදුවිය හැකි අනතුරු වළකාලමින් මානව දේහ ක්‍රියාකාරීත්වය තවත් ප්‍රවර්ධනය කරමින්, මිනිසාගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීමට දායක වේ.”යන තේමාව ඉතා කාලෝචිත තේමාවක් බව ද සදහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා විදේශීය රටවල් කිහිපයක් නියෝජනය කරමින්  මහාචාර්යවරුන්, විද්වතුන් මෙම අධ්‍යයන සැසිවාරයට සහභාගි වී  දැනුමින් සියලුදෙනා පෝෂණය කිරීමට දායකත්වය ලබා දීම පිළිබඳව ද එම විද්වතුන්හට විශේෂ ස්තූතියක් ද මෙහි දී ඒ මහතා පිරිනමනු ලැබී ය.

මෙම සැසියේ ආරාධිත විශේෂ දේශනය ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාල රෝහලේ  ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ මහාචාර්ය Mike Loosemore මහතා විසින් පවත්වන ලදී.

ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය 1992 වර්ෂයේ දී පිහිටුවා ඇත. එය ජාත්‍යන්තර ක්‍රීඩා වෛද්‍ය සම්මේලනයේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මූලධර්ම අනුගමනය කරමින් මෙරට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබදව ම කටයුතු කරන විද්‍යාත්මක සංවිධානයකි. එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය ආසියානු ක්‍රීඩා වෛද්‍ය සම්මේලනයට (SLSMA) සහ ජාත්‍යන්තර ක්‍රීඩා වෛද්‍ය සම්මේලනයට අනුබද්ධ ව කටයුතු කරනු ලබයි.

ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාවට යොමුවන අයගේ පෝෂණය, මානසික තත්ත්වය, අනතුරු වළක්වා ගැනීම, අනතුරකට ලක්වුව හොත් නැවත පුනරුත්තාපනය කිරීම, ක්‍රීඩා කෞෂල්‍යන් ඉහළ නැංවීම, මාංශපේශී චලනයන්ගෙන් සිදුවන ආබාධ හදුනාගෙන අනෙතුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයත් ලබා ගෙන ඔවුන් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම, ජනතාව ප්‍රමුඛ කරගනිමින් ව්‍යායාම සහ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, බෝ නොවන රෝගවලින් ජනතාව මුදවාගැනීමට සහ වළක්වා ගැනීමට ව්‍යායාමවල සහ ක්‍රීඩාවේ වැදගත්කම පිළිබදව ප්‍රජාව දැනුවත් කරමින් ඔවුන් එයට නැඹුරු කිරීම යන කාර්යයන් ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය ඉටුකරනු ලබන කාර්යන්ගෙන් කිහිපයක් වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLSMA) වත්මන් සභාපති  ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් මඩහපොල, ලේකම් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබද විශේෂඥ වෛද්‍ය රංගන හෙට්ටිගේ, උප සභාපති මෙන් ම 2025 අධ්‍යයන සැසිවාරයේ සභාපති ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු මානගේ, යන මහත්වරුන් මෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, භෞතචිකිත්සකයන්, ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here