NEWSNOW | – සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් සමීපතම අනුගාමිකයෙකු වන 45 හැවිරිදි මොහොමඩ් මිහිලාර් මොහොමඩ් අර්ෂාඩ් නැමැත්තා ඉන්දියාවේ සිට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබියදී අද (24) අලුයම ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු කොළඹ – 13 , ආදුරුප්පු වීදියේ පදිංචිකරුවෙකු වන අතර , ඔහු වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැදී සිටියදී , පසුගිය 22 දින ඉන්දීය ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මෙසේ පිටුවහල් කර එවා තිබුණි.
ඔහු අද (24) අලුයම 02.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
ඔහු ඉකුත් 2017 වසරේ මෙරටින් ඩුබායි වෙත පළා ගොස් තිබූ අතර , 2019 වසරේ මාකදුරේ මදූෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් පිරිසක් ඩුබායි හි උපන් දින සාදයකදී අත් අඩංගුවට පත් වීමත් සමගම ඉන්දියාව වෙත පළා විත් තිබුණි.
ඔහුගේ බිරිඳ සහ දරුවන් තවදුරටත් ඉන්දියාවේ රැදී සිටින අතර, ඔවුන්ට වලංගු වීසා සහ ගමන් බලපත්‍ර ඔවුන් සන්තකයෙහි පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ.
(ටී.කේ.ජී. කපිල – කටුනායක)