බන්ධනාගාර 28ක රැඳවියන් විසින් කළ නිර්මාණාත්මක කුසලතා විදහා දැක්වෙන සිරසර ශිල්ප 2025 ප්‍රදර්ශණය ඇරඹේ

0
10

NEWSNOW | – “නීතියෙන් දඬුවම් ලැබ වරදකරුවන් වු පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින්” බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් සිරසර ශිල්ප 2025 කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සව අවස්ථාවට බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී අද ( 15) පෙරවරුවේ එක්වෙමිනි.

එහිදී සමාරම්භක උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.

මෙය ඉතා වැදගත් උත්සවයකටත් වඩා වටිනා ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකියි. වැරදි කළ පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමටයි. වසර ගණනාවක් තිස්සේ අඩු පහසුකම් මෙන්ම පැවති ක්‍රමවේදය හරහා බන්ධනාගාර ගත කිරීමේ අරමුණු නිසි පරිදි ඉටු වුයේ නැහැ. සිර දඬුවම් විඳි පුද්ගලයින් පිළිබඳව සමාජයේ පවතින වැරදි ආකල්ප හේතුවෙන් ඔවුන්ට රැකියාවක් පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයන් තිබෙනවා. රැඳවියන්ට බන්ධනාගාරගත කාලය තුළ පුහුණුවීම්වලින් හා හැකියාවෙන් පිරි පුද්ගලයින් බවට පත්විමට මෙන්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමේ වටපිටාව සකස් කර තිබෙනවා. සමාජ ගත වු පසු යහපත් අනාගතයක් පවතින බවට වු ආත්ම විශ්වාසය රැඳවියන්ට ලබා දිය යුතුයි. කුමන බාධක පැමිණියත් ශක්තිමත්ව ඉදිරියට යා යුතුය යන හැඟීම බන්ධනාගාර නිලධාරීන් විසින් ඇති කර ගත යුතුයි. සිරගතව සිටින සිරකරුවන් අපරාධකරුවන් නොව දක්ෂ පුද්ගලයින් බව මෙවැනි ප්‍රදර්ශන තුළින් මනාව පැහැදිලි වන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.

දිවයිනේ බන්ධනාගාර 28ක රැඳවියන් විසින් කළ නිර්මාණාත්මක කුසලතා විදහා දැක්වෙන සිරසර ශිල්ප 2025 ප්‍රදර්ශණ පරිශ්‍රයේ ස්ථාපිත වීඩියෝ පුවරුව වීවෘත කිරීමට සහ ප්‍රදර්ශන කුටි නැරඹීමට ද කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය පිරිස එක් විය.

ප්‍රදර්ශන කුටි නැරඹීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අධිකරණ අමාත්‍යතුමා මෙසේ පැවසීය.

සිරකරුවන්ගේ හැකියාවන් වෙනුවෙන් වටිනාකමක් ලබාදීමට මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම අගය කළ යුතුයි. මෙම ප්‍රදර්ශනය නරඹා රැඳවියන්ගේ දක්ෂතා දැක ගනිමින් භාණ්ඩ මිළට ගැනීමට පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ නිර්මාණ මිළට ගෙන දක්වන සහයෝගය ඔවුන්ව තවදුරටත් උද්යෝගීමත් කිරීමක් ලෙස සඳහන් කළ හැකි බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

සිරසර ශිල්ප 2025 නිර්මාණාත්මක ප්‍රදර්ශනය සහ අලෙවි සැල හෙට ( 16) සහ අනිද්දා ( 17) පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා බත්තරමුල්ල දියත පරිශ්‍ර යේදී පැවැත්වේ.

රැඳවුවන්ගේ කලාත්මක කුසලතා නිර්මාණ මිලදී ගැනීමේ හැකියාව මෙහි පවතින අතර පුනරුත්ථාපනය වන කාලසීමාව තුළදී ඔවුන් විසින් සකස් කරන ලද පුටු, මේස, අල්මාරි, ඇඳන්, පොත් රාක්ක, කණ්ණාඩි මේස, බිත්ති රාක්ක වැනි දැව භාණ්ඩ, කැති රේක්ක, අත් සවල්, අත් මුල්ලු, පිහි ඇතුළු කම්මල් භාණ්ඩ, ඇඳ ඇතිරිලි, රෙදි පැන්සල් කේස්, රෙදි පාපිසි, අත් පිස්නා, ඇඳ අතිරිලි ඇතුළු මැහුම් නිර්මාණ, කාබනික පොහොර, සහල්, කැවිලි වර්ග, බඩ ඉරිඟු, එළවලු වර්ග සහ පලා වර්ග, මදුරු දැල්, සාරි, බිත්ති ලාම්පු, මේස ලාම්පු, ඇතුළු නිෂ්පාදන මෙහිදී මිලදී ගැනීමේ හැකියාව තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලාෆ්ෆර්, අධිකරණ සහ ජාතික ඒකාබද්ථා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, යන මහත්ම මහත්මීන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බන්ධනාගාර කොමසාරිස්වරුන්, අධිකාරීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here