NEWSNOW | – ඊශ්‍රායල විරෝධී වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පලකළ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට ගත් සුහයිල්ගේ නඩුව අද (15) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි.
මොහු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තද ඔහු මාස 09ක කාලයක් රඳවා තබාගෙන ඇත්තේ ජනාධිපතිවරයා හෝ ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව අධිකරණ නියෝගයක් මත වීමද විශේෂත්වයකි.
මේ අතර පසුගිය නඩු වාරයේදී පොලිසිය වෙනුවෙන් දෙහිවල පොලිස් ස්ථානාධිපති (OIC) අනුරාධා හේරත් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ සුහයිල් කිසිදු අපරාධයක් කර නොමැති බවත් ඔහු ඇප මත මුදා හැරීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත්ය.
මෙම අවස්ථාවේදී, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසුවේ, “කිසිදු අපරාධයක් නොකළ සුහයිල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙතරම් කාලයක් රඳවා තබා ගත්තේ ඇයි?” යනුවෙනි.
සුහයිල් වෙනුවෙන්, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන රෂාඩ් අහමඩ්, ඉල්හාම් හසානාලි, එම්.කේ.එම්.බර්සාන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ බර්නාඩ් යන අය ද පොලිසියට දැඩි විරෝධය පළ කරමින්, “මෙතරම් කාලයක් කිසිදු අපරාධයක් නොකළ සුහයිල්ගේ ජීවිතය සමඟ ඔබ සෙල්ලම් කළේ ඇයි?” යනුවෙන් විමසුවේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇප ලබා දීමට තමාට බලයක් නොමැති බවත්, සුහයිල් ඇප ලබාදීම සඳහා පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගත යුතු බවත්.
එහිදී දෙහිවල පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් මහතා පොරොන්දු වූ පරිදි අද (15) දින සුහයිල් නිදහස් කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන තිබු අතර ඒ අනුව ඔහු ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.