පොලීසියට සහ ගුවන් හමුදාවට නියෝගයක්

0
28

NEWSNOW| – දෙහිඅත්තකන්ඩිය වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (24) පොලීසියට සහ ගුවන් හමුදාවට නියෝගයක් කර තිබේ.

ඒ ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් සිදුවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අනතුරට හේතුව අධිකරණයට දැනුම්දෙන ලෙසයි.

විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කර තිබේ.

මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කඳවුරේ පසුගිය මැයි මස 9 වනදා පැවති විසිර යාමේ උත්සවකට සමගාමිව නිදර්ශන චාරිකාවක නිරත විය.

එහිදී පියාසර කරමින් තිබූ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී අනතුරක් සිදුවුණි.

අනතුරින් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු මියගොස් තවත් සෙබළුන් හය දෙනෙකු තුවාල ලැබීය.

දෙහිඅත්තකන්ඩිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමින් මාදුරුඔය ජලාශයේ ගුවන් අනතුර සිදු වූ ස්ථානය සහිත ජල තීරයද වැඩබලන මහෙස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණය කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණයට යටතේ ගුවන් හමුදාව විසින් සහ පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක්‍ සිදුකරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

පොලීසියේ මෙම කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් දෙහිඅත්තකන්ඩිය වැඩබලන මහෙස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා පොලීසියට සහ ගුවන් හමුදාවට නියෝග කළේ, මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වෙන් වෙන්ව විමර්ශන සිදුකර අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙසය.