දරුවෙකු ඝාතනය කරන බව පවසා කප්පම් ඉල්ලූ දෙදෙනක් අත්අඩංගුවට

0
106

NEWSNOW | – බඩල්ගම, මල්ලේවගෙදර පදිංචිකරුවෙකුගෙන් රුපියල් මිලියන 10 ක කප්පම් මුදලක් ඉල්ලා රුපියල් මිලියන 2 ක කප්පම් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්’ශන ඒකකයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කප්පම් මුදල නොගෙවන්නේ නම් වින්දිතයා සහ ඔහුගේ දරුවා මරා දමන බවට සැකකරුවන් තර්’ජනය කළ බවට ජුනි 9 වන දින පැමිණිල්ල ගොනු කර ඇති බව පොලිසිය පවසයි. එම පීඩනය යටතේ රුපියල් මිලියන 2 ක් සැකකරුවන්ට ගෙවා තිබුණි.

ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් නිලධාරීන් ජුනි 17 වන දින සීදුව පොලිස් කොට්ඨාශයට අයත් දඹතුරේ ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. වයස අවුරුදු 32 සහ 46 ක් වන සැකකරුවන් මැටියගනේ සහ කොටුගොඩ පදිංචිකරුවන් වේ. වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් බඩල්ගම පොලිසියට භාර දෙන ලදී.

සැකකරුවන් වින්දිතයා බිය ගැන්වීම සඳහා ප්‍රසිද්ධ පාතාල අපරාධකරුවන් දෙදෙනෙකුගේ නම් භාවිතා කළ බව විමර්’ශකයින් පැවසූ නමුත් එම පුද්ගලයින් නඩුවට සම්බන්ධ නොවීය.

කප්පම් සඳහා භාවිතා කළ සෙල්ලම් පිස්තෝලයක්, අපරාධයට භාවිතා කළ යතුරුපැදියක්, නව යතුරුපැදියක් සහ කප්පම් ගත් මුදලින් මිලදී ගත් බව කියන ත්‍රිරෝද රථයක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ජංගම දුරකථන කිහිපයක්, සිම් කාඩ්පත්, විවිධ බැංකුවල ATM කාඩ්පත් සහ වාහන ආශ්‍රිත ලියකියවිලි ද අත්අඩංගුවට ගෙන ඇත.