විදුලි උපකරණ තුළ සගවා ගෙන ආ කෝටි 12ක කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

0
34

රුපියල් කෝටි 12ක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , විදුලි උපකරණ තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි ව්‍යාපාරිකයන් සදහා වන රක්ත මාවත ( Red Channel ) ඔස්සේ , පිටව යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ඊයේ (19) රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් තිදෙනා කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මවක සහ 18 හැවිරිදි දියණිය, සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවන් වේ.

ඔවුන් මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 ක ප්‍රමාණය තායිලන්තයෙන් මිළදී ගෙන, ඒවා වායුසමීකරණ සහ විදුලි ආහාර පිසීමේ උපකරණ 07ක් තුළ සූක්ෂම ලෙස සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ තිබේ.

ඉන්පසුව එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම කාන්තාවන් තිදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදීම, මේ ආකාරයට විදුලි උපකරණ රැගෙන විත් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන්, රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබූණි.

මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග ඒවා රැගෙන ආ කාන්තාවන් තිදෙනා, මේ පිළිබද වැඩිදුර විමර්’ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්’යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.