ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

0
33

NEWSNOW| –  ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතය.

ඒ මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ බව විදෙස් මාධ්‍ය පවසයි.

වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී මෙම අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

අවමංගල්‍ය දේව මෙහෙය කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ විසින් පවත්වනු ලැබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළුව රටවල් රැසක රාජ්‍ය නායකයින්, නියෝජිතයන් ඇතුළු ලක්ෂ 2කට අධික පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගීවනු ඇති බව විදෙස් මාධ්‍ය වල දැක්වේ.

මේ වනවිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පසුගිය දිනවල රාත්‍රිය පුරා අවස්තාව සලසා දී තිබූ අතර, එය එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8ට අවසන් විය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව උන්වහන්සේගේ දේහය මිහිදන් කිරීම සිදුවන්නේ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදීය.

මේ අතර පාප් වහන්සේගේ අවමංග්‍ය උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වී සිටියි.

ඊට අමතරව විපක්ෂ මන්ත්‍රීවරුන්වන කාවින්ද ජයවර්ධන හා හෙක්ටර් අප්පුහාමි යන අයද වතිකානය බලා පිටව ගොස් ඇත.