මහනුවර සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ

0
31

NEWSNOW| –  සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරේ.

අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවන අතර හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර ඇත.

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව අද දහවල් 12:30ට පමණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සිරි දළදා වන්දනාවේ පළමු දැක්ම අදට වසර 1715කට පෙර අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස දක්වා දිවෙන බව දාඨා වංශයේත්, පාහියන් චීන දේශාඨන වාර්’තාවලත් සඳහන් වේ.

මෑත කාලීන ඉතිහාසයේ, 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේදී සිරි දළදා වන්දනාව පැවැත්වුණි.

ඒ අනුව, වසර 16කට පසු ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් බැතිමතුන්ට මෙවර උදාවී තිබේ.

මෙවර සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් ඇති අතර මාර’ග නම් ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිම,,රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම වශයෙනි.

මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බැතිමතුන් විශාල ප්‍රමාණයක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත පැමිණ වාර්’තා වේ.