වැට් බද්දෙන් භාණ්ඩ කිහිපයක් නිදහස්

0
39

අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුවය.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බවත් ඒ සඳහා අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය අත්සන තැබූ බවයි.

ඒ අනුව අදාළ පනත එදින සිට බලාත්මක බැවින් බදු සංශෝධනයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දියර කිරි සහ යෝගට්වලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එකතු කළ අගය මත බදු සංශෝධන නව පනතට අනුව අනේවාසික පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වේ.

ඊට අමතරව වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර තිබේ.