ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ කුඩා දරුවන් ඇතුළු 200කට දිවි අහිමි වෙයි

0
53

NEWSNOW | – ඊශ්‍රායල හමුදා සටන්විරාම එකඟතා කඩකර ඇති බව හමාස් සංවිධානය පවසයි.

ඒ ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මිය යාම හේතුවෙනි.

සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත.

පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම ප්‍රහාරය ඉතිහාසයට එක්වේ.

ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය.

ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය.

ඊශ්‍රායලය මීට සති කිහිපයකට පෙරද සටන්විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළකරමින් ගාසා තීරය වෙත සැපයෙන සියලුම භාණ්ඩ සැපයුම් අවහිර කරන ලදී.

කෙසේ නමුත් හමාස් සංවිධානය ඊට එකඟ නොවීම මුල්කරගෙන ඊළඟ සතියේ සිට ගාසා වෙත විදුලිය සැපයීමට ඊශ්‍රායලය නතර කළේ එහි ජනතාව තවත් අර්’බුදයකට යොමුකරමිනි.

අනතුරුව ගාසා වෙත අතරින් පතර ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගත් අතර, මෙතරම් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණේ ඊයේ(17)දිනයේදීය.

මෙහිදී ගුවන් ප්‍රහාරවලට අමතරව, දකුණුදිග ඛාන් යුනුස් වෙත යුද ටැංකි යොදා ෂෙල් ප්‍රහාර පවා එල්ල කර තිබූ බව වාර්’තා වේ.

මෙම ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධව අමෙරිකාව දැනුවත් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය චෝදනා කරන්නේ හමාස් සංවිධානය යළි සංවිධානය වෙමින් පවතින බවය.