පලස්තීන ජනතාව වෙනත් රටවලට පිටුවහල් කිරීමට සංක්‍රමණිකයින් නොවේ – ට්‍රම්ප්ට සෞදි අල් ෆයිසාල් කුමරු කියයි

0
41

NEWSNOW| –  එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනයක ගාසා තීරයෙන් පලස්තීනුවන් ඉවත් කළ යුතුය යැයි පැවසු හැටි ප්‍රකටය. එයට පෙර ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළ යුතුය යැයිද ඒ මදිවට එක්සත් ජනපදයේ තවත් ප්‍රාන්තයක් බවට කැනඩාව යා කර ගත යුතුය යැයද පැනමා ඇළ ඇමරිකාව අත් කර ගත යුතුය යැයිද ආදී වශයෙන් ට්‍රප්ගේ දෙඩවිලි දෙස බලන නැණවත් ලෝකයා පවසන්නේ ට්‍රම්ප් තමන් සිතනවාට වඩා පිස්සෙක් යනුවෙනි.

ගාසා වැසියන්ව මිසරය සහ ජෝර්දානය භාර ගත යුතු යැයි ට්‍රම්ප් කර ඇති ප්‍රකාශයට අරාබි මුස්ලිම් රටවලින් පමණක් නොව අන් රටවල් ගණනාවකින්ම විරෝධයක් එල්ල විය. එයට ප්‍රතිචාර දැක්වූ සෞදි අරාබි බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් තුර්කි අල්-ෆයිසාල් කුමරු පැවසුවේ පලස්තීන ජනතාව වෙනත් රටවලට පිටුවහල් කළ යුතු නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් නොවන බව අවධාරණය කරමිනි.

තවද පලස්තීනයේ ඉඩම් ඔවුන්ට නීතියානුකූලව අයත් දේපළ වන බවද ගතවුනු මාස 15 කට අධික කාලයක් මුළුල්ලේ එක්සත් ජනපදය මහ බ්‍රිතාන්‍යය වැනි යුදෙව් ගැති සුපිරි බලවතුන්ගේ සහය සහිතව ඊශ්‍රායලය විනාශ කළ නිවාස ඇතුලු යටිතල පහසුකම් සහිත ගොඩනැගිලි සහ ඉදිකිරීම් සියල්ල අයත් වන්නේ පලස්තීන වැසියන්ට බවද ෆයිසාල් කුමරු පෙන්වා දුන්නේය.

මෙයට පෙර ඊශ්‍රායලය විසින් සිදු කළ නිමක් නැති ප්‍රහාර වලින් ඒවා විනාශ වූ පසු නැවත ගොඩනගා ගත්තා සේම ඒවා නැවතත් පලස්තීන වැසියන් විසින්ම නැවත ගොඩ නගා ගන්නවා ඇත යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

දැනට සරණාගතයන් මෙන් ඔවුන්ගේම භූමයෙහි පලස්තීනුවන් පත්ව සිටින තත්වය පෙන්වා දුන් ෆයිසාල් කුමරු ගාසාවෙහි සිටින බහුතරයක්ම බටහිර ඉවුරෙන් ඊශ්‍රායල හමුදාව විසින් පළවා හරින ලද පිරිස් බවද සිහිපත් කළ අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්ව තිබෙන මෙම සමයෙහි ඔවුන්ව නැවතත් හයිෆා ජටා ඇතුලු පලස්තීන නගර වලට යාමට ඉඩ දිය යුතු යැයිද ඉල්ලා සිටියේය.

එමෙන්ම දෙවන ලෝක සංග්‍රමයෙන් පසුව විවිධ යුරෝපා රටවලින් සහ වෙනත් රටවලින් පළවා හරින ලද හා පිටුවල් කරන ලද යුදෙව්වන් සංක්‍රමණිකයන් ලෙසින් පලස්තීනයට පැමිණි තත්වය සිහිපත් කළ අතර පසුව ඔවුන් පලස්තීනය බලයෙන් අල්ලා ගෙන ඔවුන්ට අනුකම්පා කර එහි වාසය කරන්නට ඉඩ දුන් එහි භූමි පුත්‍රයන්ට දශක ගණනාවක් තිස්සේ මිලේච්ඡ ලෙස සලකමින් සිටින නිහීන ගුණාංගය ගැනද එම පහත් අමානුෂික ක්‍රියාවන්ට එක්සත් ජනපදය සහ මහ බ්‍රිතාන්‍යය ඇතුලූ රටවල් කිහිපයක් නොමසුරුව සහය දැක්වු හා අද දක්වා සහය දක්වමින් සිටින ආකාරයද ෆයිසාල් කුමරු සංවේගයෙන් සිහිපත් කළේය.

එමෙන්ම පලස්තීනයට සාමය ගෙන එන බව ට්‍රම්ප් කලකට පෙර පොරොන්දු වු ආකාරය ගැන අදහස් දක්වමින් ඒ සඳහා වන හොඳම ක්‍රමය පලස්තීන වැසියන්ට ඔවුන්ට හිමි දේශය ආපසු හිමි කර දීම යැයිද නැගෙනහිර ජෙරුසලමය එයට අගනුවර කිරීම යැයිද අවධාරණය කළේය. එය තම කැමැත්ත පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේද තීරණය වන්නේද එය බවද කුමරු අවධාරණය කළේය.