NEWSNOW | – අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) ගාල්ලේ දී සිදුකිරීමට නියමිතය.
මියයන විට 75 වන වියෙහි පසුවූ ඒ මහතා කලක් අසනීපව සිට තිබේ.
මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්’තාකරණය හඳුන්වාදීමේ පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා 1949 වසරේ ජූනි 26 වනදා උපත ලැබුවේය.
පොඩි අතුල ලෙස පෙනී සිටිමින් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය අරගලකාරී ජවය 71 කැරැල්ලට ලබාදුන්නේය.
71 කැරැල්ලේ සන්නද්ධ අංශයේ කටයුතු කළ ඔහු සිය ජීවිතය අවදානමේ හෙළමින් ක්‍රියාකළ අයුරු ඔහුගේ ජීවිතයේ මතක සටහන් ලෙස දක්නට ලැබේ.
දේශපාලන විචාරකයෙක්, න්‍යායාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වූ වික්ටර් අයිවන් මහතා රට තුළ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙක් ලෙසිනි.
ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා පිළිබඳ ඔහු රාවය පුවත්පතේ සිදුකළ වාර්තාකරණය අදටත් කතාබහට ලක්වන මාතෘකාවකි.
ඍජු ගවේෂණාත්මක වාර්’තාකරණය නිසාම ලංකාවේ වැඩිම අපහාස නඩු සඳහා මුහුණදුන් මාධ්‍යකරුවා ලෙස වික්ටර් අයිවන් ඉතිහාසගත වේ.
වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකිරීමට නියමිත අතර ඒ අනුව අවසන් කටයුතු ගාල්ලේ දී අද සිදු කෙරෙනු ඇත.