මෙරට හමුදා සේවයේ වැඩිම කාලයක් සේවය කළ ඔහු විශ්‍රාම යාමට සූදානම්

0
42

NEWSNOW| –  මෙරට ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු 2025 ජනවාරි මස 01 වැනිදා සිට විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා එලෙස විශ්‍රාම ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස 2019 වසරේ අගෝස්තු මස 18 වැනිදා පත් කෙරුණු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස වැඩිම කාලයක් සේවය කළ හමුදා නිලධාරියා වෙයි.

ඔහු 1984 මාර්තු 5 වන දින යුද හමුදාවේ නිත්‍ය බඳවා ගැනීම් 19 යටතේ හමුදා පුහුණුවට එක්වී ඇත. සිය පුහුණුවීම් වලින් අනතුරුව 1985 වසරේ නොවැම්බර් මස 16 වැනිදා ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව හමුදා සේවයට එක්විය.

එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව පැවති හමුදා මෙහෙයුම් රැසකට සක්‍රීය දායකත්වය ලබා දුන් ඔහු මෙරට ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වන්නේ 2007 -2009 යුද සමයේදී 58 වන සේනාකාංධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ලෙස කටයුතු කළ සමයේදී ය.

යුද්ධය අවසන් වීමෙන් පසු 2010 වසරේ දී ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස පත් කරන ලද අතර 2014 වසර අවසානය දක්වා එහි සේවය කළේය.

වසර 03 කට ආසන්න කාලයක් යුද්ධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු 2022 වසරේ ජුනි මස 01 වැනිදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරුණි.

ඔහු සිය විශ්‍රාම යාම පිළිබඳව මාධ්‍ය වෙත මෙසේ පැවසීය.
“අවුරුදු 41ක හමුදා සේවයෙන් අනතුරුව මම විශ්‍රාම ගන්නේ. ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැඩිම කාලයක් සේවයේ යෙදුණු නිලධාරියා විදිහට. ”

”මට ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් සිව් දෙනෙක් යටතේ සේවය කරන්න අවස්ථාව ලැබුණා.”

”ඒ වගේම හමුදා නිලධාරියෙක් විදිහට ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමිකර ගත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදිහට මම විශ්‍රාම යන්නේ.”

”පදක්කම් 20ක් මට හිමි වුණා. ඒ අතර රණබිමේදී දක්වන සේවය වෙනුවෙන් ජීවත්ව ඉද්දි හමුදා නිලධාරියෙක්ට හිමිවෙන වීර වික්‍රම විභූෂණ පදක්කම, රණ වික්‍රම පදක්කම, රණශුර කියන පදක්කම් 03ම හිමිවුණා.”