NEWSNOW| – ලෝකවාසී කිතුනුවෝ ආදරය කරන මෙන් ම ගරුත්වයෙන් සමරන අසිරිමත් නත්තල අද (25) දිනට යෙදී තිබේ.
ලෝකයේ ඇති බොහෝ රාජ්‍යයන්වල ජනතාව ආගම් භේදයකින් තොරව නත්තල සැමරීම විශේෂත්වයකි.
සකල මිනිස් වර්ගයා පවින් මුදා ගනු පිණිස බෙත්ලෙහෙම්පුරේ දිළිඳු ගවළෙකින් මෙලොව එළිය දුටු ජේසු බිළිඳුන්ගේ උපන් දිනය සැමරීමට ජාති, ආගම්, වර්ණ, දේශ, භාෂා, වයස් භේදයෙන් තොරව සෑම දෙනා ම අද දිනයේ දී එක් වෙයි.
මේ වන විට ලොව ජනගහනය වන බිලියන 8.1 ක (කෝටි 801 ක) ජනතාවගෙන් 31% ක් එනම් කෝටි 217.3 ක පිරිසක් කිතුනුවන්. (කතෝලික 50%,ප්‍රොතෙස්තන්ත්‍ර 37% ක් හා ඕකඩොක්ස් 12% ක් වශයෙනි. සෙසු 01% කි)
ඔවුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන, උන්වහන්සේගේ ධර්මය විශ්වාස කරන එතුමන්ට ගෞරව හා වන්දනා කරන පිරිසක් ලෙසයි සැලකෙයි.
ලොව ජනගහනයෙන් 23% ක් ඉස්ලාම් බැතිමතුන්ය.
එය සංඛ්‍යාත්මකව කෝටි 155.9 කි.
කිසිදු ආගමක් අදහන හෝ විශ්වාස නොකරන නිරාගමිකයෝ කෝටි 112.6 ක් ලොව පුරා ජීවත් වෙති.
එය ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහනයෙන් 16% කි.
ලොව පුරා හින්දු බැතිමතුන්ගේ ප්‍රතිශතය 15% ක් වන අතර එය කෝටි 103.3 ක් වන අතර එම සංඛ්‍යාවෙන් 94% ක් ජීවත් වන්නේ ඉන්දියාවේ ය. බෞද්ධ බැතිමතුන් 07% ක් වන අතර එය කෝටි 48.75 ක් වනු ඇත.
ගෝත්‍රික ආගම් අදහන්නෝ 06% ක් වන අතර සංඛ්‍යාත්මකව කෝටි 40.5 ක් ය.
ගෙවුණු පුරා වසර 2023 ක කාලයක් අඛණ්ඩ ව කිසියම් පුද්ගලයකුගේ උපන් දිනයක් බහුතර ජනතාවක් සැමරුවේ නම් ඒ ක්‍රිස්තු උපත සිහි කරන නත්තලයි.
‘නත්තල’ යනු කව්රුත් ආදරයෙන් සමරන උලෙළකි.
ජාති, ආගම්, වර්ණ, කුල, පක්‍ෂ, බාල, තරුණ, මහලු භේදයෙන් තොරව නත්තල සමරනු වස් නිවෙස, තම සේවා ස්ථානය තුළ නත්තල් ගසක් නිර්මාණය කිරීම, ගවළෙනක් ඉදිකිරීම බොහෝ රටවල සේ ම මෙරට බොහෝ තැන්වල ද දැකගත හැකිය.
කුමන අභියෝගය, කුමන ආර්ථික ප්‍රශ්න තිබුණ ද කිතුණු පවුල්වල දෙමාපියෝ තම දූ දරුවන්ට, තමන්ගේ දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ට අලුත් ඇඳුමක් ලබාදීමටත්, ගෙදර හුණු තීන්ත ටිකකින් පිරියම් කිරීමටත් අමතක නොකරති.
නත්තල් දිනයේදීවත් ගෙදර කෑම වේලක් රසවත්ව සාදා ගැනීමට සියලු කැපවීම් කිරීම ද මෙහි විශේෂත්වයකි.