පළාත් පාලන මැතිවරණය 2025 සිංහල අලුත් අවුරුද්දට පෙර

0
52

NEWSNOW| – ඉදිරි පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට රජය සූදානම් වේ.

මේ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ඊයේ (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඊට නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත මේ වනවිට සකස් කර ඇති බවද  ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ “පළාත් පාලන මාතිවරණය 2023 මාර්තු මාසයේ පැවැත්වීමට නාමයෝජනා කැඳවුවා. නමුත් ඒ වෙලාවේ හිටපු පක්ෂත් අද නෑ. සමහර සන්ධාන කැඩිලා. ඒ නිසා ඒ නාමයෝජනා කැන්සල් කරලා අලුත් නාමයෝජනා කැඳවිය යුතු බව අපි හිතනවා. ඒ නිසා අපි පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණයක් අරන් දැනට නාමයෝජනා කැන්සල් කිරීමට අදාළ පනත සකස් කරලා තියෙන්නේ. ඒක ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ නැවත නාමයෝජනා කැඳවලා අපි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවුරුද්දට කලින් කටයුතු සුදානම් කරනවා.”

එසේම පළාත් සභා මැතිවරණය ගැටලු ගණනාවක් නිසා හිරවී ඇති බවත් ඒ නිසාවෙන් එය ලබන වසර ඇතුළත පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.