රන්භාණ්ඩ කොල්ලයකට සම්බන්ධ පූසාරිවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

0
42
NEWSNOW | – රුපියල් 1,980,000ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් ඇතුළු දේපළ කොල්ල කෑ සැකකරුවන් පිරිසක් මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබේ.
පසුගිය 18 වනදා මාලිගාවත්ත පොලිස් වසමේ බෝධිරාජ මාවත ප්‍රදේශයේ පිහිටි කෝවිලක සිටින පූසාරි වරුන් දෙදෙනෙකු විසින් මැසෙන්ජර් හරහා හඳුනාගත් පලෙයි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි පූසාරිවරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ අලුතින් කඩයක් විවෘත කිරීමට ඇති බව පවසා මාලිගාවත්ත ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇත.
එසේ පැමිණි පූසාරිවරයාට නවාතැන් ගැනීම සඳහා බෝධිරාජ මාවත ප්‍රදේශයේ පිහිටි කෝවිලේ කාමරයක් ලබා දී ඇති අතර ඉහත දින රාත්‍රියේ පලෙයි සිට පැමිණි පූසාරිවරයා එම කාමරයේ නිදාගෙන සිටියදී ඇසුණු ශබ්දයක් හේතුවෙන් ඇහිරී බලන විට පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට පහර දෙන අයුරු දැක ඇත.
අනතුරුව එම පහර කෑමට ලක්වූ පුද්ගලයා විසින් පලෙයි සිට පැමිණි පූසාරිවරයා දැක ඔහුට ව්‍යාජ චෝදනාවන් එල්ල කර ඔහුටද පහර දීමක් සිදු කර ඉහත පුද්ගලයින් දෙදෙනා විසින් පලෙයි සිට පැමිණි පූසාරිවරයා සන්තකයේ තිබූ පවුම් 09ක් පමණ වන රන් භාණ්ඩ සහ මුදල් රුපියල් ලක්ෂ 02 ක් ඇතුළු දේපළ කොල්ල කා ඇත.
මෙම අපරාධය සම්බන්ධව පලෙයි සිට පැමිණි පූසාරිවරයා විසින් 2024.11.20 වන දින මාලිගාවත්ත පොලිස් ස්ථානයට පැමිණිලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව විමර්’ශන ආරම්භ කළ මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණිල්ල ලද 20 වන දිනම, අපරාධය සිදු කරන ලද සැකකරුවන් දෙදෙනා බෝධිරාජමාවත පිහිටි කෝවිලේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 200 ක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 800 ක් සොයා ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත සොරා ගන්නා ලද රන් භාණ්ඩ සහ මුදල්ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා අධික ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවට විමර්’ශනයේදී තොරතුරු අනාවරණය වී ඇත.
ස්ථානාධිපති ප්‍ර.පො.ප භාතිය ජයසිංහ මහතා සහ අපරාධ කොට්ඨාස ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග යසරත්න ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන අතර සැකකරුවන් අද දින මාලිගාකන්ද අංක 02 ගරු මහේස්ත්‍රාත් අදිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඡායාරූප – අබ්දුල් රහ්මාන් අසීම්