NEWSNOW| –
අධි නීතිඥ මාස් එල්. යුසුෆ් ( LLb ගෞරව) විසින් ලියූ ලිපියකි
” මිනි පහන නිතැතින්ම නිවී යාම ඛේදයකි”
2024 නොවැම්බර් 14 වෙනිදා උදෑසන මගේ නිවසේ ගේට්ටුව මා විවෘත කරන විට වයස අවුරුදු අසූව ඉක්මවූ අපගේ අසල්වැසි ෆාතිමා ආන්ට් අමාරුවෙන් අපේ ගෙදර පසු කර යනු දුටු මා ‘ආන්ට් ඔයා උදේ පාන්දරම කොහෙද මේ යන්නේ?” යැයි ඇයගෙන් ඇසුවෙමි. එවිට ඇය තම අතේ තිබුණු ඡන්ද පත්‍රිකාව ලෙලවා ‘ මම ඡන්දය දෙන්න යනවා’ යැයි සිනහමුසුව කීවාය. ටික දුරක් ගිය ඇය යමක් මතක් වුවා සේ නැවති ආපසු හැරී ‘ මාලිමාවට ඡන්දය දෙන්න හොඳේ?’ යැයි පැවසුවාය.
මා මෙය සඳහන් කරන්නේ පසුගිය මහ මැතිවරණ සමයෙහි ජාතික ජනබලවේගයට සහය දැක්වීමට ලාංකික මුස්ලිම් ප්‍රජාව අතර පැවති උදද්‍යෝගයට නිදසුනක් ලෙසිනි.
ජාතික ජනබලවේගය අත් කර ගත් දැවැන්ත ජයග්‍රහණයට මා ප්‍රථමයෙන් සුබ පැතූම් එක් කරමි. විශේෂයෙන් ජන සමාජයේ සෑම අංශයකටම ඔඩු දුව තිබුණු දුෂිත පාලනයේ අයිස් කන්ද සුනුවිසුනු කරමින් එය පසුකර යාමේ ගමනෙහි සිය පක්‍ෂයට අති දක්ෂ නායකත්වයක් ලබා දීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සුවිශේෂීව ප්‍රශංසා කරමි.
පසුගිය කාලයේ පත්වූ අමාත්‍ය මණ්ඩල කිහිපයක් මෙසේ සිහිපත් කරමු.

විවිධ ජන වර්’ග වාසය කරන සමස්ත දේශයක් කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවේ. එනමුත් ජාතික ජනබලවේගය කැමැත්තෙන්ම ඉල්ලා සිටියේ එම අභියෝගයයි. ගොනා පසුපස නියත වශයෙන්ම එන කරත්තය සේ සාර්’ථකත්වය පැමිණෙන්නේද එය පිටුපසින් නොපෙනෙන සහ නොසිතූ ගැටලු සමඟය.
ඒ අනුව ජාතික ජනබලවේග ආණ්ඩුවේ පළමු ආන්දෝලනය වී ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ එකදු මුස්ලිම් මන්ත්‍රීවරයෙකු හෝ ඇතුලත් කර නොගැනීමයි.
මෙම ලිපිය අමාත්‍ය මණ්ඩලයට එක් මුස්ලිම් ජාතිකයෙකු හෝ ඇතුලත් කළ යුතුය යැයි බැගෑපත් වන්නක් නොවේ. නමුත් මෙහි වෑයම වන්නේ එවන් කෙනෙකු අමාත්‍ය මණ්ඩලයේ නොමැති වීමේ ප්‍රතිවිපාක දේශීය මෙන්ම ජාත්‍යන්තර කාච වලින් විශ්ලේෂනය කිරීමයි.
දේශීය දෘෂ්ටි කෝණයෙන් ගත් කල මුස්ලිම් ප්‍රජාව අතර දණ්ඩෙන් පහර කෑ සර්’පයන් මෙන් කලබල වු අයද, හෙණ පහරක් පහත් වුවා සේ කම්පා වු අයද අතිශයින්ම කලකිරුණු අයද සිටින බවක් පෙනේ. ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ සිත්වල අලුත්ගම, දිගන සහ පාස්කු ඉරිදා ප්‍රහාරවල තුවාල තවමත් සුව නොවී පවතියි. වාර්’ගික ආතතියේ අවතාරය ඩැමොක්ලස්ගේ කඩුව මෙන් නොකඩවා ඔවුන්ගේ හිස් මත එල්ලෙමින් තිබේ. එමෙන්ම වාර්ගික කොන් කිරීම, අන් ජනකොටස් විසින් සැකයෙන් බලනු ලැබීම මෙන්ම පොදු ලාංකික ජන සමාජයට පූර්ණ ලෙසින් ඇතුළත් වීමට අවසර නොමැති වීම සහ සමාජ ඒකාබද්ධතාවයේ පුළුල් වෙමින් පවතින බෙදීම ආදියෙහි වේදනාව ඔවුන්ගේ සිත්වල තවමත් පවතින්නේ නැවුම් තත්වයකය.
මෙම ලිපියේ මැය ඉගි කරන ජනබලවේගයේ වාර්’තාව නිසා ජාත්‍යන්තර වේදිකාවේ ඇති විය හැකි රාජ්‍ය තාන්ත්‍රික දෝංකාරය කෙබඳු විය හැකිද? විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් සහ මුස්ලිම් ජාතීන් මෙය ගැන කුමක් සිතනවා විය හැකිද? ඔවුන් පොදුවේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස නිරීක්ෂණ ඇසින් බලා සිටිනවාට සැකයක් නැත.
ලෝක දේශපාලනයේ අවදානය ශ්‍රී ලංකාව වෙත ඇදගත් සිදුවීම් තුනක මගේ මතකයට නැගේ. අවාසනාවකට එම සිදුවීම් කිසිවක් සාඩම්භර විය හැකි ඒවා නම් නොවේ. එම තුන් වැදෑරුම් සිදුවීම් වලින් එකක් පාස්කු ඉරිදා ප්‍රහාර යයි. එය සමගින්ම පැහැදිලි ජාතිවාදය හරහා ගෝඨාභය බලයට පත් වීම සහ අවසාන වශයෙන් එම දූෂිත හා අවිචාරවත් පාලනය රට බංකලොත්බාවයට ඇද දැමීම අනෙකුත් සිද්ධියි. පසුව ලාංකිකයන් විසින් පළවා හරින ලද ගෝඨා තමන්ව භාර ගන්නට රටක් නැතිව රටින් රට පනිමින් විදේශ හෝටල්වල ළත වෙමින් සිටියි. මෙලෙසින් මහින්ද පාලනයත් ඉන්පසුව පැමිණි ගෝඨාභයගේ පාලනයත් මෙම දේශයට සමාජීය, ආගමික හා දේශපාලනික වශයෙන් ජාතිවාදය, වෙනස්කම් කිරීම සහ අසමානතාවය ආවේණික වූ ආකාරය සහ එහි අවසන් ප්‍රතිඵලය ලෝකයට පැහැදිලිව පෙන්වා දුන්නේය.
එම නුදුරු අමිහිරි අතීතයෙන් පසුව දැන් ශ්‍රී ලංකාව වෙත නැවතත් ලෝක අවදානය යොමු වී ඇති අතර ජාතික ජනබලවේගයටජ ස්තූති වන්නට මෙවර එය යහපත් හේතූන් නිසාය. ජාතික ජනබලවේගය එහි සියලු ස්වරූපවලින් සහ අන්තර්ගතයෙන් ජාතිවාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. ඡන්ද ව්‍යාපර සමයෙහි දේශපාලන වාසි සඳහා ජනතාවගේ ආගමික සහ වාර්’ගික හැඟීම් අපයෝජනය කිරීමෙන්ද ජාතික ජනබලවේගය ඈත් වී සිටියේය. පීඩිත සහ වෙනස් කොට සැලකීමට ලක් වූවන්ට ඇත්තෙන්ම ජාතික ජනබලවේගය බලාපොරොත්තුවේ සහ ගැලවීමේ ආලෝකයක් විය. ඒ අනුව දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් විශාල වශයෙන් ජාතික ජනබලවේගය සමඟ පෙළ ගැසීම පුදුමයට කරුණක් නොවේ. ලාංකිකයන්ට පමණක් නොව දුෂණයේ සහ වෙනස් කොට සැලකීමේ පාලන තන්ත්‍රයන් පවතින ඇතැම් විදේශ රටවල ප්‍රජාවටද ජාතික ජනබලවේගයේ මෙම ඓතිහාසික විජයග්‍රහණය බලාපොරොත්තුවේ ගිනිසිළුවක් බවට පත් වූවාට සැකයක් නැත. කෙටියෙන් කීවොත් අද ජාතික ජනබලවේගය නිතැතින්ම ලෝක දේශපාලනයේ ආදර්’ශයක් බවට පත්ව ඇත. ඒ අනුව කුඩා දකුණු ආසියාතික දූපත් රාජ්‍යයක ඇතිව තිබෙන මෙම දේශපාලන කම්පනය ජාත්‍යන්තරව පෙර නොවූ විරූ ලෙසින් ‘සිස්ටම් චේන්ජ් එකක්’ සඳහා වන යෝධ රැළි නිර්’මාණය කර ඇත යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත.

රාජතාන්ත්‍රික අසීරුතාවය
එකදු මුස්ලිම් ජාතිකයෙකුට හෝ අමාත්‍ය තනතුරක් ලබා නොදීම සිතා මතාම මුස්ලිම් සමූහයා අවමන් කරන්නට කළ දෙයක් යැයි දෙස් විදෙස් නිරීක්‍ෂණ වලට පෙනෙනු ඇත. විශේෂයෙන් ලොව අරාබ් සහ මුස්ලිම් රටවල් මෙය කවුරුන් බලයට පැමිණියත් මෙම දිවයිනෙහි නොවෙනස්වන මුස්ලිම් කොන්කිරීමක් ලෙස දැකිය හැකිය.
අප රටට අරාබි සහ මුස්ලිම් රටවල් සමඟ විවිධාකාර දේශාන්තර ගනු දෙනු. වෙළෙඳාම, ද්විපාර්’ශවික සබඳතා, ආයෝජන, ව්දේශ ප්‍රේෂණ සහ එවැනි අනෙකුත් ආර්’ථික සබඳතා ගණනාවක්ම තිබේ. මෙම කරුණු වලට සෘණාත්මකව බලපෑ හැකි සුළු හෝ සැකයක් ජාතික ජනබලවේග රජය කෙරෙහි ඇති වීම රටට අවාසිදායක විය හැකිය. ගෝලීයකරණය වී ඇති ලෝකයක ශ්‍රී ලංකාවට හුදෙකලාව ජීවත් විය නොහැකි බවද සිහි තබා ගත යුතුය. එපමණක් නොව ඉදිරි කාලවලදී ජාත්‍යන්තර අවධානයට ලක්වන කාරණා වලදී සහ ජගත් සංසදවලදී අරාබි සහ මුස්ලිම් රටවල සහාය සහ සහයෝගය අපට නැතිවම බැරී තත්වයන් පැන නැගිය හැකි අතර කිසිසේත් මෙවන් රාජතාන්ත්‍රික සහයෝගීතා අප අහිමි කර නොගත යුතුය. තවද සියලු ජන වර්’ග වලට එක හා සමානව සලකන බවට හා සුළු ජාතීන්ගේ අයිතීන්වලට ගරු කරන රජයක් වනු ඇති බවට ජාතික ජනබලවේලය නිර්මාණය කර ඇති විශ්ව ප්‍රතිරූපයට අංශු මාත්‍රයක හෝ කැළලක් ඇති කිරීම එම රජය මත වන විශ්වාසය ප්‍රශ්නාර්’තයකට ලක් කළ හැකිය.
නැවතත් අප අතීතයට යන්නට පටන් ගෙනද….
අමාත්‍ය මණ්ඩලයේ එකදු නියෝජනයක් මුස්ලිම්වරුන්ට නොමැති තත්වය තවත් සංකීර්’ණතා වලට තුඩු දිය හැකිය. අනෙක් ජනකොටස් මුස්ලිම්වරුන් යනු දෙවන පංතියේ වර්’ගයක් යැයි සිතන්නට පෙළඹිය හැකිය. මේ නිසා සමාන රට වැසියන් යන තත්වයට හානි ඇති විය හැකිය. එය ජනවාර්’ගික නොසන්සුන්තා වලට මග පෑදිය හැකිය. එමෙන්ම රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් මුස්ලිම්වරුන් බැහැර කළ විට කෙතරම් ජාතික ජනබලවේගයට සහය දැක්වුවද තමන් කොන් කර ඇතය යන කළ කිරීම ඔවුන්ට ඇති විය හැකිය. එපමණක් නොව මුස්ලිම් ප්‍රජාවගේ ඕනෑ එපාකම්, දුක්ගැනවිලි සහ අභිලාෂයන් ප්‍රතිපත්ති සම්පාදන මේසයෙහි නියෝජනය කරන්නේ කවුද හා කෙසේද යන පැනයද මෙවිට පැන නගියි. මෙවන් තත්වයන් දැනටමත් ඉතා තුනී වී තිබෙන සමාජ ඒකාබද්ධතාවය නම් වන කැන්වසය ඉරා දමනු ඇත.
මුස්ලිම්වරුන්ට වෙනස්ව සැලකීමේ ප්‍රවණතාවය ජාතික ජනබලවේග රජයත් ප්‍රදර්’ශනය කරයි නම් අපට අසන්නට වන්නේ නැවතත් අප අතීතයට යන්නට පටන් ගෙනද? යනුවෙනි.
(නීතිඥ මාස් එල්. යුසුෆ් (ගෞරව) ලන්ඩන් කලක් එක්සත් එමීර් රාජ්‍යවල ජනාධිපතිවරයාගේ පුද්ගලික අංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේය. ctcolumn@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ඔහු හා සම්බන්ධ විය හැකිය)