ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වෙයි

0
74
NEWSNOW | – ලෝකයම බලා සිටි ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ.
මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා තිබේ.
ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණයි.
ඒ අනුව 2024 අමෙරිකානු ජනාධිපති තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඒ ෆ්ලොරිඩාහි, රිපබ්ලිකන් පක්ෂ ප්‍රධාන මූලස්ථානයේ සිට සිය ආධාරකරුවන් අමතමිනි.

හිටපු ජනාධිපති ට්‍රම්ප් එහිදී පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ තරම් ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවය.

ජනාධිපතිවරණ සටනේ ඉතාමත් තීරණාත්මක ප්‍රාන්ත අතරින් ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ පෙනිසල්වේනියා ප්‍රාන්තවල ජය තහවුරු කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට හැකි විය.
එමෙන්ම සෙනට් සභාවේ බලයත් නැවතත් තමන් සතුකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත්ව තිබේ.
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් පැවැති ජනාධිපතිවරණය මෙරට වේලාවෙන් ඊයේ (05) පස්වරුවේ ආරම්භ විය.
ලියාපදිංචි අමෙරිකානු ඡන්දදායකයින් මිලියන 186.5න් මිලියන 81කට වැඩි පිරිසක් පූර්’ව ඡන්දය භාවිත කිරීමේ ක්‍රමවේදය යටතේ ඡන්ද දිනයට පෙරම ඡන්දය භාවිත කර තිබුණි. ඊයේ දිනය විවෘත වූයේ එලෙස ඡන්දය භාවිත නොකළ පිරිස සඳහාය.