ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සහන සලසන්න යුධ, නාවික, ගුවන් හමුදා සීරුවෙන්

0
36
NEWSNOW | – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය සමඟ ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා යුධ හමුදාව, නාවික සහ ගුවන් හමුදා භට පිරිස් යොදවා තිබේ.
එම සහන සේවා කටයුතු තව දුරටත් පුළුල් කරමින් වැඩි භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට යුද්ධ හමුදාපතිවරයා උපදෙස් දී ඇත.
ඒ අනුව, පහත සඳහන් ස්ථානයන් වෙත සහනසේවා කටයුතු සඳහා අද (14) දින භටපිරිස් යොදවා ඇත.
මල්වාන – යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමග)
කටුගොඩ – යුද හමුදා කණ්ඩායමක්
වටරැක – යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමග)
සිතාවක – යුද හමුදා කණ්ඩායමක්
මීතොටමුල්ල – යුද හමුදා කණ්ඩායම් දෙකක් (යුනි බෆල් රථ හතරක් සමග)
කොලොන්නාව – යුද හමුදා කණ්ඩායමක් (අයන්හෝස් දෙකක් සමග)
නවගමුව – යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටු දෙකක් සමග)
පැලවත්ත – යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)
යටදොලවත්ත – යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)
මිට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇති විය හැකි හදිසි අපදා තත්ත්වයකදි යෙදවිම සඳහා WMZ රථ 23ක්, යුනි බෆල් රථ හා යුනිකෝන් රථ 34ක්‍, බෝට්ටු 56ක් සමග 6500 පමණ භට පිරිස් සංඛ්‍යාවක් සුදානම් කර ඇති බව යුද්ධ හමුදාව පැවසීය.
මේ අතර කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පවසයි.
අධික වැසි හේතුවෙන් කළුගග, කැලණි ගග සහ අත්තනගලු ඔය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයයෙන් යටවී ඇති අතර එම පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව දිගටම මෙහෙයම් සිදුකරමින් පවතී.
ඩිංගි යාත්‍රා යොදා ගනිමින් නාවික හමුදාව සහන සැලැසීමේ මෙහෙයුම්වල නිරත වන අතර අවතැන්වූවන්ට ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසූ හා වියළි ආහාර බෙදාහැරීම, විදුලි නඩත්තු කටයුතු සඳහා සේවකයින් ප්‍රවාහනය කිරීම සහ මහජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු මේවන විට සිදුකරමින් පවතී.
මේ අතර ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් රත්මලේනේ සූදානම් කර ඇති අතර විශේෂ පුහුණු ලත් ගුවන් සෙබළුන් ද අවශ්‍ය ඕනෑම මොහොතක කැඳවීමට හැකි බව ගුවන් හමුදාව කියයි.
හදිසි ආපදා තත්වයන් පිළිබඳ තොරතුරු ඇත්නම් හදිසි ඇමතුම් මැදිරිය 117 හෝ දුරකථන අංක 0112136136, 0112136222, 0112670002 ඇමතීමෙන් දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දීමක් කරයි.