උත්සවවලින් තොරව ක්‍රීඩා පහසුකම් 5ක් මහජනතාවට පැවරීමට අගමැතිනියගෙන් උපදෙස්

0
148

NEWSNOW| –  කොළඹ, මාතලේ, බිංගිරිය සහ ඕමන්තේ යන ප්‍රදේශවල අලුතින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන පහක් චාරිත්‍රානුකූල විධිවිධානයකින් තොරව මහජනතාවට විවෘත කරන ලෙස අග්‍රාමාත්‍ය හා කාන්තා, ළමා හා යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

මෙම ව්‍යාපෘති අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල කාලය තුළ නිම කරන ලදී.

අග්‍රාමාත්‍යතුමියගේ මෙම තීරණය ඊයේ(27) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්’තමේන්තු ප්‍රධානීන් සමඟ ඇයගේ ප්‍රථම හමුවේදී මේ බව ප්‍රකාශ කරන ලදී.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිම කරන ලද ක්‍රීඩා පහසුකම් 05 පහත පරිදි වේ.

1. ඔලිම්පික් මට්ටමේ Blue Polytan Hockey AstroTurf කොළඹ.
2. ඔලිම්පික් මට්ටමේ Blue Polytan Hockey AstroTurf මාතලේ.
3. බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 50 පිහිනුම් තටාකය.
4. ඕමන්ත වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 25 පිහිනුම් තටාකය.
5. ඕමන්තේ වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ථ ක්‍රීඩාංගනය.

අග්‍රාමාත්‍ය ලේකම් එස්. ප්‍රදීප් සපුතන්ත්‍රි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු මහතා මෙම පහසුකම් දිවයින පුරා සිටින පාසල් සිසුන්, යෞවනයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කඩිනමින් ලබාදීමට පියවර ගනිමින් සිටී.

රජය විසින් ආයෝජනය කර ඇති සැලකිය යුතු රාජ්‍ය අරමුදල් හඳුනා ගනිමින් මෙම පහසුකම් ඉහළම ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමට සහ අනාගත පරපුරට ඒවා සුරක්ෂිත කිරීමට සහාය වන ලෙස ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලාංකිකයින්ට රජය ආරාධනා කරයි.
– අගමැති මාධ්‍ය අංශය