ආසියානු කුසලාන නැගී එන තරු අවසන් සටන අද – ශ්‍රී ලංකා ‘A’ පිල පාකිස්තානය සමඟ තරග බිමට

0
15
2026 ACC පිරිමි ආසියානු කුසලාන නැගී එන තරු තරගාවලියේ අවසන් මහා තරගය අද (29) කටාර්හි දෝහා නුවරදී පැවැත්වීමට නියමිතය.

2026 ACC පිරිමි ආසියානු කුසලාන නැගී එන තරු (Rising Stars) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අද (29) වත්මන් ශූරයන් වන පාකිස්තාන ‘A’ කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.

පන්දුවාර 50 තරගයක් ලෙස පැවැත්වෙන මෙම අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට කටාර්හි දෝහා නුවර වෙස්ට් එන්ඩ් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ තෙවැනි ශූරතාව දිනා ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසෙයි. ශ්‍රී ලංකාව මීට පෙර 2017 සහ 2018 වසරවලදී මෙම ශූරතාව දිනාගෙන තිබේ.

තරගාවලි ඉතිහාසයේ වැඩිම ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ පාකිස්තානයයි. ඔවුන් මේ වන විට ශූරතා තුනක් දිනාගෙන ඇත.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ ඉන්දීය ‘A’ කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි. අනෙක් අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශ ‘A’ කණ්ඩායම කඩුලු 5කින් පරාජය කළ පාකිස්තාන ‘A’ කණ්ඩායම ද අවසන් සටනට පිවිසියේය.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ බලඇණියට ඇතුළත් සිනෙත් ජයවර්ධන සහ ලසිත් කෲස්පුල්ලේගේ දක්ෂතා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, හසන් නවාස් සහ නායක අබ්දුල් සමාඩ් ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරති.

අද පැවැත්වෙන අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත්, මෙම තරගාවලියේ වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාගත් කණ්ඩායම ලෙස පාකිස්තානය සතු වාර්තාව සම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here