උත්තර් ප්‍රදේශයේ සංස්කෘතික හා ආගමික අනන්‍යතාව විදහා දක්වමින් ඉදිකළ වාරණාසි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙසැම්බර් 2 වැනිදා විවෘත කෙරේ.

0
5

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සංස්කෘතික හා ආගමික අනන්‍යතාව විදහා දක්වමින් ඉදිකළ නව වාරණාසි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එළැඹෙන දෙසැම්බර් 2 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. අක්කර 30කට අධික භූමි ප්‍රමාණයක ඉන්දීය රුපියල් කෝටි 450ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදිවූ මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 30,000කට එකවර තරග නැරඹිය හැකි අතර, අවශ්‍යතාව අනුව එම ධාරිතාව 40,000 දක්වා ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇත.

ශිව දෙවියන්ගේ සංකේත සහ වාරණාසි නගරයේ පෞරාණික ශිෂ්ටාචාරය ආභාෂය කරගනිමින් නිමැවුණු මෙහි ගෘහ නිර්මාණ ශිල්පය සුවිශේෂී වේ. අඩ සඳ හැඩැති වහල ආවරණ, ත්‍රිශූලාකාර විදුලි ආලෝක කුළුණු, වාරණාසි ගංගා ඝාට් හි පඩිපෙළ රටාවලට අනුව සකස් කළ ප්‍රේක්ෂක ආසන සහ ‘ඩමරු’ (Damaru) වාද්‍ය භාණ්ඩයේ හැඩයෙන් නිර්මාණය කළ මාධ්‍ය කුටිය ක්‍රීඩාංගණයට අද්විතීය පෙනුමක් එක් කර තිබේ.

උසස් තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙහි ප්‍රධාන තණතීරු 9ක් සහ පුහුණුවීම් සඳහා අතිරේක තණතීරු 5ක් ස්ථාපිත කර ඇති අතර, මිලිමීටර් 100ක අධික වර්ෂාපතනයකදී වුවද මිනිත්තු 20-25ක් ඇතුළත ක්‍රීඩා පිටිය යළි තරග සඳහා සූදානම් කළ හැකි නවීන ජලාපවහන පද්ධතියකින් ද සමන්විතය. වාහන 1,500කට ආසන්න සංඛ්‍යාවක් නැවැත්වීමේ පහසුකම් ඇති මෙම ක්‍රීඩාංගණය 2023 සැප්තැම්බර් 23 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් මුල්ගල තබන ලද අතර, එය කාන්පූර්, ලක්නව්, ග්‍රේටර් නොයිඩා සහ සයිෆායි යන ස්ථානවලට පසුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට එක්වන 5 වැනි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයයි. ආරම්භක අදියරේදී දේශීය තරග පැවැත්වෙන මෙහි ඉදිරියේදී කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරග පැවැත්වීමට ද උත්තර් ප්‍රදේශ් ක්‍රිකට් සංගමය අපේක්ෂා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here