කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය රටේ අනාගත පරපුර සහ අධ්‍යාපන ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවන පිරිමි දරුවන්ගේ ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින බවයි. සියලු දෙනා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලවලට ගොස් උපාධි ලබාගත යුතු යැයි තමන් නොකියන නමුත්, පාසලේ 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවලට එන විට පිරිමි දරුවන් පාසල් පද්ධතියෙන් ගිලිහී යන්නේ ඇයිද යන්න පිළිබඳව සියලු දෙනා බැරෑරුම් ලෙස සිතා බලා එය වෙනස් කළ යුතු බව ඇය අවධාරණය කළාය.
ශිෂ්‍යයන් ඇමතූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ජීවිතය ජය ගැනීමට කෙටි මාර්ග නොමැති බවයි. පාසල් අධ්‍යාපනය වසර 13ක් සම්පූර්ණ නොකර මැදදී නතර කර කුමක් හෝ ක්‍රමයකින් ගොඩදාගත හැකි බවට විවිධ තැන්වලින් අදහස් පළ වුවද, පාසලකට පැමිණෙන්නේ හුදෙක් විභාග සමත් වීමට පමණක් නොවන බව ඇය පැවසුවාය. නායකත්ව ගුණාංග, කණ්ඩායම් හැඟීම සහ ජීවිතයට අත්‍යවශ්‍ය වටිනාකම් රැසක් පාසල තුළින් ලබාගත යුතු අතර, එම වටිනාකම් ලබාදිය හැකි පරිසරයක් සියලු පාසල් තුළ ගොඩනැඟිය යුතු බව ද ඇය කියා සිටියාය.
විශේෂයෙන් 12 සහ 13 ශ්‍රේණිවලදී පිරිමි දරුවන් පාසල තුළ රඳවා ගැනීම විදුහල්පතිවරුන්ට මෙන්ම පාසල් පද්ධතියට ද විශාල අභියෝගයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දරුවන්ට ආදරය සහ රැකවරණය ලබාදෙන ආකර්ෂණීය ස්ථානයක් බවට පාසල පත් කිරීමේ වගකීම අවධාරණය කළාය. එසේ නොවුණහොත්, සමාජ දැනුම, හැකියාව සහ නායකත්වය නොමැතිකම හේතුවෙන් පිරිමි දරුවන් සමාජය තුළ අතරමං වී විවිධ අවදානම්වලට මුහුණ දෙන බව ඇය පැවසුවාය.
රට තුළ අධ්‍යාපනික අභියෝගවලට අමතරව මත්ද්‍රව්‍ය උවදුර ඇතුළු සමාජ අර්බුද රැසක් පවතින බවත්, පවුල් සංස්ථාව සහ ආගමික ආයතන පවා තර්ජනයට ලක්වෙමින් පවතින බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එම ගැටලුවලට විසඳුම් සෙවීමේදී අධ්‍යාපනය තුළින් ද මැදිහත් විය යුතු බව සඳහන් කළාය. දැනුම, තාක්ෂණය සහ රැකියා ක්ෂේත්රය වේගයෙන් වෙනස් වන ලෝකයක ජීවත් වන වත්මන් දරුවන්ට, පොතපතේ දැනුමට හෝ ඩිජිටල් උපකරණවලට පමණක් සීමා නොවී ජීවිතය පුරා ඉගෙන ගනිමින් සමාජය නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

