කොළඹ වාණිජ මහාධිකරණය විසින් පාලි බාග්‍රා හෙවත් පාලිත බණ්ඩාර යන අයට එරෙහිව කලාසූරී ගුණදාස කපුගේ මහතා විසින් තනු නිර්මාණය සහ ගායනය කරන ලද ගීත 20 ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් අද(13) නිකුත් කෙරේ.
එකී ගීතයන්හි තනු නිර්මාණය සහ ගායනය සිදු කරන ලද සංගීතඥ කලාසූරී ගුණදාස කපුගේ මහතාගේ පුත් මිත්‍ර කපුගේ සහ ගුණදාස කපුගේ මහතාගේ බිරිද ප්‍රේමා කපුගේ මහත්මිය විසින් මෙම නඩුව පාලි බාග්‍රා යන අයට එරෙහිව ගොනු කර තිබේ.
එකී ගීත අතර “සීතල සද එලියේ, දොඹ මල් කැලැවේ, අහස උසට, බිම්බරක් සෙනග, නින්ද නැති රැයේ, අභිසාරිකාවන්ගේ, දෑස නිලපුල් තෙමා, සිංහල සිංදු කියන, අයියණ්ඩියේ, විදුලි මිනි පහන්, මං මුලාවි පාර සොයාගෙන, දම් පියාවි, දවසක් පැල, සිටු කුමාරියේ, සද හැංගි හැංගි, කවුරුත් එන්නැති, බිංදු බිංදු තාරකා, මගේ සද මඩල, ඔබ පෙම් කරනා ඔබේ කුමාරි, රුවක් ඇදෙනවා” වේ.
සියලු කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණය විසින් මෙම වාරණ නියෝගය පාලි බාග්‍රා මහතාට එරෙහිව නිකුත් කරනු ලැබීය. එසේම පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද මහාධිකරණය විසින් වාරණය කරන ලදි.
පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් පාලි බාග්‍රා මහතා විසින් පැමිණිලිකරුවන්ගේ අවසරයකින් තොරව සිය ගීත වශයෙන් ගායනා කරමින් සිටින බවත් ඔහු විසින් පැමිණිලිකරුවන්ගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.
නැවත මෙම නඩුව නොවැම්බර් 27වැනිදා කැඳවීමට වාණිජ මහාධිකරණය නියෝග කළේය.
පැමිණිලිකාර ගුණදාස කපුගේ මහතාගේ බිරිද සහ පුතා වෙනුවෙන් නීතිඥ ඉසුරු අබේවික්‍රම මහතාගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටින ලදි.

