නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත විෂයමාලා රාමුව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

0
13

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන මේ වන විට සාර්ථකව ආරම්භ කර තිබේ. ඒ අනුව, දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 100කදී ඊයේ (12) සහ අද (13) යන දෙදින තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු හා අපේක්ෂිත ප්‍රතිඵල, සංශෝධිත ජාතික විෂයමාලා රාමුව, අධ්‍යාපන පරිපාලනය, භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම පාසල් පාදක ඇගයීම් සහ සහතිකකරණය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී සහභාගිවන්නන් දැනුවත් කිරීමට නියමිතය. අධ්‍යාපන පද්ධතියේ සියලු පාර්ශ්ව වෙත මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම සහ ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා අධ්‍යාපන නිලධාරීන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මෙහි මූලික අදියරෙන් අනතුරුව, එළඹෙන නොවැම්බර් 19 වැනිදා දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ගුරුවරුන් දැනුවත් කිරීමේ පාසල් මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඊට අවශ්‍ය පුහුණුව ලබාදීමද මෙම ජාතික වැඩසටහනේ තවත් විශේෂ අරමුණකි.

එමෙන්ම, මෙම වැඩසටහන් මාලාවේ අවසන් අදියර ලෙස නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා දෙමාපියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එක් එක් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සුදුසු දින ගණනක් වෙන් කරවා ගනිමින්, එම පාසල්වල සියලුම සිසුන්ගේ දෙමාපියන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here