එංගලන්තයේ පාසල් සිසුන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිත කිරීම පමණක් නොව, ඒවා තම බෑග්වල හෝ සාක්කුවල තබාගැනීම ද තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
දැනට ඇතැම් පාසල්වල ක්‍රියාත්මක වන ‘No See, No Hear’ ප්‍රතිපත්තිය යටතේ සිසුන්ට දුරකථන භාවිත නොකර, ශබ්ද නොනැඟෙන පරිදි තම බෑග්වල තබාගැනීමට අවසර හිමිවනවා.
එහෙත් නව මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීමත් සමග එම අවසරය ද ඉවත් කිරීමට නියමිතයි.
ඒ අනුව, 2027 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව මාර්ගෝපදේශ යටතේ පාසල් කාලය පුරාම සිසුන් සතුව ජංගම දුරකථන නොතිබිය යුතු වනවා.
මේ සම්බන්ධයෙන් වන නීතිමය මාර්ගෝපදේශ පසුගිය ජුනි මාසයේ සිට බලාත්මක වී ඇති අතර, ඒ අනුව පාසල් සහ අධ්‍යාපන ආයතන භාරකාර මණ්ඩලවලට පාසල් කාලය තුළ දුරකථනවලින් තොර පරිසරයක් පවත්වාගෙන යාමේ නීතිමය වගකීම පැවරී තිබෙනවා.
අධ්‍යාපන ලේකම් ලුසී පවෙල් සඳහන් කර ඇත්තේ, පාසල යනු ඉගෙනීම සහ මිත්‍රත්වය ගොඩනඟා ගැනීම සඳහා වූ ස්ථානයක් මිස දුරකථන තිරය දෙස බලා කාලය ගත කිරීම සඳහා වූ ස්ථානයක් නොවන බවට දෙමාපියන්ට සහ සිසුන්ට රජය පැහැදිලි පණිවිඩයක් ලබාදෙන බවයි.
ජංගම දුරකථන වෙත ප්‍රවේශය තිබීම සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම එකිනෙකා සමග සබඳතා පවත්වා ගැනීමට ද බාධාවක් විය හැකි බව රජය පෙන්වා දෙනවා.
නව මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කිරීමේ බලය පාසල්වලට ලබාදී තිබෙනවා.
ඒ අනුව, ඇතැම් පාසල් දුරකථන ආරක්ෂිතව තැන්පත් කළ හැකි අගුළු දැමිය ලොකර් භාවිත කරන අතර, තවත් පාසල්වල දවස ආරම්භයේදී සිසුන්ගේ දුරකථන එකතු කරගැනීම හෝ පාසල් පරිශ්‍රයට දුරකථන ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සිදුකරනවා.
කෙසේ වෙතත්, නව නීති ක්‍රියාත්මක කිරීමේදී පාසල්වලට අමතර වියදම් දැරීමට සිදුවන බැවින් ඒ සඳහා රජයෙන් ප්‍රතිපාදන ලබාදිය යුතු බව පාසල් ප්‍රධානීන්ගේ වෘත්තීය සමිති පෙන්වා දෙනවා.
NAHT පාසල් නායකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පෝල් වයිට්මන් පවසන්නේ, පාසල් කාලය තුළ දුරකථන ආරක්ෂාව සම්බන්ධ ගැටලු සහ අවධානය වෙනතකට යොමු වීමේ අවදානම් ඇති කළ හැකි නමුත්, නව දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු මුදලක් වැය වන බවයි.
එමෙන්ම, සෑම සිසුවෙකුටම දුරකථන ආරක්ෂිතව තැන්පත් කළ හැකි පහසුකම් සැපයීමට රජයේ මූල්‍ය සහාය අත්‍යවශ්‍ය බව Association of School and College Leaders සංගමයේ ප්‍රධාන ලේකම් පෙපේ ඩි’ඉසියාසියෝ ද අවධාරණය කර තිබෙනවා.
මේ අතර, එක්සත් රාජධානියේ අනෙකුත් ප්‍රදේශවල පාසල් දුරකථන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති වෙනස් වනවා.
ස්කොට්ලන්තය පාසල් තුළ පෞද්ගලික දුරකථන භාවිතය සීමා කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට සූදානම් වන අතර, වේල්සයේ ජාතික මට්ටමේ නීතිමය තහනමක් පැනවීමේ යෝජනාවක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
උතුරු අයර්ලන්තය ද පාසල් තුළ ජංගම දුරකථන තහනම් කිරීම සම්බන්ධයෙන් සති 12ක මහජන අදහස් විමසීමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පාසල් දුරකථන තහනම, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට එක්සත් රාජධානිය සැලසුම් කර ඇති වැඩපිළිවෙළින් වෙනස් වනවා.
එම සමාජ මාධ්‍ය තහනම ලබන මාර්තු මාසයේ සිට හඳුන්වාදීමට නියමිත අතර, Instagram, Snapchat සහ TikTok වැනි වේදිකා වෙත දරුවන්ට ප්‍රවේශ වීම සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා.

