ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

0
3

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර විකාශන සංවිධාන එකඟතාව පළ කර ඇති බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

කොළඹදී පැවැත්වෙන ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වන මහා සභා රැස්වීමට සහභාගී වූ ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයින් සහ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව ලෝකයට සුන්දර සංචාරක ගමනාන්තයක් ලෙස හඳුන්වා දීමට සහ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ඕස්ට්‍රේලියානු ABC ජාලයේ ජාත්‍යන්තර අංශයේ සාමාන්‍යාධිකාරී ක්ලෙයාර් ගෝර්මන් (Claire Gorman), අප්‍රිකානු විකාශන සංගමයේ (AUB) ප්‍රධාන විධායක නිලධාරී ග්‍රෙගොයර් න්ඩ්ජාකා (Gregoire Ndjaka) සහ ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) උප සභාපති හා චීනයේ RTPRC අධ්‍යක්ෂ ජෙනරාල් ෂෝ ජිහොං (Zhou Jihong) යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගෙන් ඇගයීමක්

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය, ආරක්ෂාව, ස්වාභාවික සෞන්දර්යය සහ ජනතාවගේ සුහදශීලී බව පිළිබඳව විදේශීය මාධ්‍ය නියෝජිතයින්ගේ ඉහළ ඇගයීමක් හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම කොළඹ නගරයේ සුන්දරත්වය සහ තමන් ලැබූ අත්දැකීම් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ මට්ටමක පැවැති බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

සංචාරක ක්ෂේත්‍රයට අලුත් දොරටු ඇරේ

ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) මහා සභා රැස්වීම වැනි ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම මගින් සංචාරක ක්ෂේත්‍රයට විශාල උත්තේජනයක් ලැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය. මෙවැනි හමුවීම් හරහා ලෝකප්‍රකට මාධ්‍ය ජාල සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, නව සංචාරක වෙළඳපොළවල් වෙත ළඟාවීමට ශ්‍රී ලංකාවට මින් විශාල පිටුවහලක් ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here