බටහිර ආසියාවේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි 7කට එකඟ වන ලෙස ඉරානය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම දෙරට අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවට පළවන වාර්තා ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම්, මේජර් ජෙනරාල් මොහ්සෙන් රෙසායි (Mohsen Rezaei) විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිදුකරන බව කියන “මනඃකල්පිත සාකච්ඡා” පිළිබඳ අසත්‍ය ප්‍රචාර වහාම නතර කරන ලෙසත්, බටහිර ආසියාවේ ගොඩනැගෙමින් පවතින නව කලාපීය බලතුලනය පිළිගෙන ඉරානය විසින් පනවා ඇති කොන්දේසි 7ට යටත් වන ලෙසත් රෙසායි මහතා පවසා තිබේ.
ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි 7:
-
සියලු ක්ෂේත්රයන්හි යුධමය හා සතුරු ක්‍රියාකාරකම් වහාම නතර කිරීම.
-
ඇමෙරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීම.
-
ඉරානයට එරෙහිව පනවා ඇති ඇමෙරිකානු නාවික අවහිරතාවන් (Naval blockade) ඉවත් කිරීම.
-
විදේශයන්හි අත්හිටුවා ඇති ඉරාන මූල්‍ය වත්කම් නිදහස් කිරීම.
-
යුද්ධයෙන් සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම.
-
කලාපයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම සහ ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කිරීම.
-
ඉරාන භූමියට සහ පාලනයට එරෙහි ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කිරීම.
මීට අමතරව, උපායමාර්ගිකව වැදගත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම මෙම කොන්දේසි ඉටුකිරීම මත පදනම් වන බවද ඉරානය සඳහන් කර ඇත.
යුධමය ගැටුම් අවසන් අදියරට පැමිණ ඇති බවත්, නැවත විශාල පරිමාණයේ ප්රහාරයක අවශ්‍යතාවක් නොමැති බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.
නමුත් ඇමෙරිකාව ප්‍රායෝගික පියවර ගන්නා තෙක් නිල සාකච්ඡා ආරම්භ නොවන බව ඉරානය අවධාරණය කරයි. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි (Esmaeil Baghaei) සඳහන් කළේ සම්බාධක සහ නාවික අවහිරතා ඉවත් කරන්නේ නම් දින දෙකක් ඇතුළත ගැටුම විසඳා ගැනීමට පියවර ගත හැකි බවයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) පවසා ඇත්තේ ඉරානයේ ඇතැම් කොන්දේසි පිළිගත නොහැකි මට්ටමේ පවතින බවයි.

