මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදා භාරයට ගනිමින් යළි විවෘත කෙරේ

0
3

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, මාලඹේ පිහිටි ‘වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල’ ඊයේ (නොවැම්බර් 09) යළි විවෘත කරන ලදී. ‘ස්කයි කෙයා හොස්පිටල් මැනේජ්මන්ට් ලිමිටඩ්’ (Sky Care Hospital Management Ltd.) ආයතනය මගින් මෙම රෝහල කළමනාකරණය කරනු ලබයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයාකොන්ත යන මහත්වරුන් මෙම විවෘත කිරීමේ අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. 2026 පෙබරවාරි මාසයේදී රජය විසින් ගනු ලැබූ කැබිනට් තීරණයකට අනුව, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් කළමනාකාරීත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දීම මෙහි විශේෂත්වයකි.

රෝහල යළි විවෘත කිරීම සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කරන ලද අතර, අනතුරුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමඟ එක්ව රෝහල් පරිශ්‍රය නිරීක්ෂණය කරමින් එහි පවතින වෛද්‍ය හා යටිතල පහසුකම් පිළිබඳව සොයා බැලූහ.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, ගුවන් හමුදාපතිවරයා, ආරක්ෂක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මියගිය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ භාර්යාව සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here