දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා එම කොටසේ ධාවන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර, ඒ අනුව කොළඹ සිට පැමිණෙන දුම්රියන් කුරුණෑගලින් ද, යාපනය දෙස සිට එන දුම්රියන් මහවෙන් ද ගමන් සීමා කර තිබේ.
මේ අතර, ඊයේ (02) දිනයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසන පරිදි, මේ වන විට තවත් ජලාශ කිහිපයක ද ජල මට්ටම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

