ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර කෘෂිකාර්මික සහයෝගීතාව තහවුරු කරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන්

0
14

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

තුර්කියේ අන්කාරා නුවරදී ඊයේ (27) පැවැති ද්විපාර්ශ්වික හමුවකදී මෙම වැදගත් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ තුර්කි ජනරජයේ කෘෂිකර්ම හා වන සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අහ්මෙට් බාජි මහතා අතරය.

මෙම සාකච්ඡාවලදී කෘෂිකාර්මික සංවර්ධනය, නවීන ගොවි තාක්ෂණය හඳුන්වාදීම, පර්යේෂණ හා නවෝත්පාදන, දැනුම හුවමාරු කරගැනීම සහ ධාරිතා සංවර්ධනය වැනි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. මීට අමතරව, කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම, ගොවි ජනතාවට අවශ්‍ය සහාය ලබාදීම, තිරසර කෘෂිකාර්මික ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වය පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම හරහා දෙරටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්ට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්වන ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් සහයෝගීතා රාමුවක් ස්ථාපිත කෙරේ.

හමුව අවසානයේදී, තමන් වෙත දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සහ සාර්ථක සාකච්ඡා වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, තුර්කි නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළ අතර, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඔහු දැක්වූ කැපවීම ද මෙහිදී අගය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here