පොලීසියේ දී සැකකරුවෙකු මියයෑමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපක්ෂපාතී පරීක්ෂණයක ඉල්ලයි

0
13

මත්ද්‍රව්‍ය විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී මියගිය කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාර නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

වාර්තා වන ආකාරයට, පසුගිය ඔක්තෝබර් 25 වන දින උදෑසන පොලිසියට ගොස් සැකකරුගේ තත්ත්වය බැලූ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ ඔහුගේ සිරුරේ දැඩි ලෙස පහර දුන් බවට පෙනෙන තුවාල දක්නට ලැබුණු බවයි. කෙසේ වෙතත්, මෙහෙයුමක් අතරතුර සැකකරු හදිසි අසනීපයකට මුහුණ දී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කිරීමත් සමඟ මෙම සිදුවීම සම්බන්ධයෙන් පරස්පරතා මතු වී තිබේ.

මෙම පරස්පර ප්‍රකාශ හමුවේ මරණයට සැබෑ හේතුව සම්පූර්ණයෙන්ම හා ස්වාධීනව තහවුරු කර ගැනීම සඳහා විනිවිදභාවයකින් යුත් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව නීතිඥ සංගමය අවධාරණය කරයි. අත්අඩංගුවේ පසුවන ඕනෑම අයෙකුගේ ජීවිතය සහ ශාරීරික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම රාජ්‍යයේ මූලික වගකීමක් වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(4) වගන්තිය මඟින් නිසි අධිකරණ නියෝගයකින් තොරව කිසිදු අයෙකුගේ ජීවිතය අහිමි කිරීම දැඩි ලෙස තහනම් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ වන විට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර, හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මූලික විමර්ශනයක් ද ආරම්භ කර ඇත. මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා මෙම සිදුවීමට අදාළ සියලු කරුණු සාධාරණ සැකයකින් තොරව විමර්ශනය කරන ලෙසත්, වහාම ක්‍රියාත්මක වන පරිදි අපක්ෂපාතී සහ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකින් පොලිස්පතිවරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here