ළඟ එන වසර හතර ඇතුළත ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව මෙරට වඩාත්ම ජනප්රිය ක්රීඩාව බවට පත් කිරීමේ අරමුණින් යුත් විශේෂ සංවර්ධන සැලැස්මක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ෆීෆා (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අසර්බයිජානයේ බකු නගරයේදී පවත්වා තිබේ.
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වාර් උමර් මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී, ශ්රී ලංකා ජාතික සහ යොවුන් පාපන්දු කණ්ඩායම් නගාසිටුවීම සඳහා ෆීෆා ආයතනය ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ක්රීඩා අමාත්යවරයා සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම, පසුගිය වසර දෙකක කාලය තුළ ශ්රී ලංකා පාපන්දුව ලබා ඇති කැපී පෙනෙන ප්රගතිය ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
යෝජිත මෙම සංවර්ධන වැඩසටහන යටතේ ඉදිරි වසර හතර තුළ ජාතික කණ්ඩායම් සංවර්ධනය, කාන්තා පාපන්දු ප්රවර්ධනය මෙන්ම පුහුණුකරුවන් සහ විනිසුරුවන්ගේ කුසලතා ඉහළ නැංවීම වැනි ක්ෂේත්ර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25ක මූල්ය ආධාරයක් ලබා දීමට ෆීෆා ආයතනය අපේක්ෂා කරයි. මීට අමතරව, ජාත්යන්තර මට්ටමේ නවීන පාපන්දු ක්රීඩාංගණයක් ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි ද මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ.
රට පුරා පාපන්දු පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ලබන වසරේ සිට සෑම දිස්ත්රික්කයකම ක්රීඩාංගණ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර, 2031 වසර අවසන් වන විට පාපන්දු සම්මේලන සාමාජික ලීග් හරහා ක්රීඩාංගණ 40කට ආසන්න සංඛ්යාවක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. තවද, මෙරට ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානයක් (National High-Performance Centre) පිහිටුවීමට අදාළ යෝජනාවට අවශ්ය තාක්ෂණික දැනුම සහ මූල්යමය සහාය ලබා දීමට ද ෆීෆා ආයතනය මෙහිදී සිය එකඟතාව පළ කර තිබේ.

