අයහපත් කාලගුණයෙන් පුත්තලමට දැඩි බලපෑම්. එක් අයෙකු ජීවිතක්ෂයට.10,000කට වැඩි පිරිසක් පීඩාවට

0
14

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට අයත් ග්‍රාම නිලධාරී වසම් 73ක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා පවසයි.

මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 2,854කට අයත් පුද්ගලයින් 10,793 දෙනෙකු ආපදා තත්ත්වයට මුහුණ දී සිටිති.

අයහපත් කාලගුණයත් සමඟ සිදු වූ අනතුරකින් මාදම්පේ (533ඒ) මැල්ලවාගාර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු සැඩපහරට ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහවැව, වෙන්නප්පුව, නාත්තන්ඩිය, හලාවත, පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව, මාදම්පේ, කරුවලගස්වැව, ආරච්චිකට්ටුව, මහකුඹුක්‌ඩවල සහ නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට මෙමගින් වැඩිම බලපෑම් එල්ල වී ඇත.

නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත් පුද්ගලයින් 20 දෙනෙකු මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා තබා ගනිමින් අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් හටගන්නා ජලගැලීම් පාලනය කිරීම සඳහා හදිසි පියවර ලෙස මහවැව තල්විල මෝය සහ වෙන්නප්පුව කම්මල මෝය කපා, ගොඩගැසී ඇති ජලය මුහුදට බැස යාමට කටයුතු යොදා ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ඉදිරියේදීත් වැසි සහිත කාලගුණය තවදුරටත් පැවතිය හැකි බැවින්, සිදුවිය හැකි හානි අවම කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා උපදෙස් දී ඇත.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්, ආපදා කළමනාකරණ අංශ, ආපදා සහන සේවා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සවිධානාත්මකව සූදානම් කර ඇති අතර, පීඩාවට පත් ජනතාවට හිමිවිය යුතු සහන සේවා කඩිනමින් ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර තිබේ.

May be an image of body of water

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here