අදත් දිවයිනට තද වැසි

0
11

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද (24) දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී, ඔක්තෝබර් 25 වන දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව චක්‍රවාතයක් (සුළි කුණාටුවක්) බවට පත්වීමටත් ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ල නොවන මුත්, පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා ගමන් කිරීම හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කෙරේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here