මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඩොලර් 3කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගෝලීය ප්රමිතිගත දර්ශකය වන බ්රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.55කින් (3.14%) ඉහළ ගොස් ඩොලර් 116.72ක් ලෙස සටහන් වී ඇත. ලෝකයේ අලෙවි වන බොරතෙල් ප්රමාණයෙන් 60%කට වඩා වැඩි ප්රමාණයක මිල තීරණය වන බ්රෙන්ට් දර්ශකය මෙලෙස සටහන් වූයේ අප්රේල් 29 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි.
එමෙන්ම අමෙරිකානු WTI (West Texas Intermediate) වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 3.80කින් (3.8%) ඉහළ ගොස් ඩොලර් 103.27ක් ලෙස සටහන් විය. මෙම මිල වර්ධනයත් සමඟ ගෙවුණු සතිය තුළ පමණක් බ්රෙන්ට් තෙල් මිල 6%කින්ද, WTI තෙල් මිල 2.3%කින්ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ලොව විශාලතම බොරතෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය සහ යේමනයේ හූති කැරලිකරුවන් අතර සටන් තීව්ර වීමත් සමඟ සෞදියට එල්ල වූ ප්රහාර මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්යය ආසන්න මුහුදේ සිදුවූ තෙල් කාන්දුවක්ද මෙලෙස ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්රයෙන් ඉහළ යාමට ප්රධාන වශයෙන් හේතු වී ඇති බව විදෙස් මාධ්ය පෙන්වා දෙයි.

