අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

0
11

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හරහා මෙම වරෙන්තුව නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද දැඩි නියෝගයක් නිකුත් කළේය. අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියම කළේය.

පසුගිය 2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්‍රදේශයේ පැවැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු අභියාචනාධිකරණය විසින් පසුව නිදොස් කොට නිදහස් කර තිබිණි.

එම නිදහස් කිරීමට එරෙහිව අගතියට පත් පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමක විභාගය අවසන් කරමින්, විත්තිකරුවන්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නොතීසි නිකුත් කර තිබුණි. කෙසේ වෙතත්, නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රේමලාල් ජයසේකර මහතා පෙනී නොසිටි අතර, ඔහු මේ වන විට විදේශගතව සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here