එයා බස් ගනුදෙනුව සම්බන්ධ නඩු විභාගය සම්බන්ධ සවිස්තර තොරතුරු.

0
6
එයාබස් ගනුදෙනුවට අදාළව අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා කෙටුම්පත් කර අවසන් බවත්, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පැවරීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අද (13) අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ සඳහා අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන අනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් අද හෝ හෙට දිනයේ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවත්, නුදුරේදීම අධිචෝදනා ගොනු කරන බවත් පැමිණිලි පාර්ශ්වය ප්‍රකාශ කළේය. ඒ අනුව, නාමල් රාජපක්ෂ මහතා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අවසන් දිනය අද විය හැකි බවද පැවසීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික රෝහලකත්, මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබන බවයි. මව්පියන් දෙදෙනාම එකවර රෝහල්ගතව සිටීම සහ විමර්ශන කටයුතු අවසන් වී තිබීම ඇප ලබාදීමට අදාළ සුවිශේෂී කරුණු ලෙස සලකන ලෙස විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියහ.
පැමිණිල්ල ඉතා කඩිනමින් විමර්ශන අවසන් කර අධිචෝදනාද සකස් කර ඇති බැවින්, විමර්ශන අවසන් වීම පමණක් ඇප ලබාදීමට ප්‍රමාණවත් සුවිශේෂී කරුණක් ලෙස පිළිගත නොහැක.
මව්පියන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වී තිබුණද, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කෙරෙන කිසිදු වෛද්‍ය වාර්තාවක් නීතිමය වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් එම කරුණද ඇප ලබාදීමට ප්‍රමාණවත් නොවේ.
සැකකරුට ඇප ඉල්ලීමට ඇති අවස්ථාවන් අහිමි නොවන පරිදි, විමර්ශන අවසන් කර ඇති මෙම නඩුවේ අධිචෝදනා ගොනු කිරීම තවදුරටත් ප්‍රමාද නොකර කඩිනමින් සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා පැමිණිලි පාර්ශ්වයට උපදෙස් දුන්නේය.
මෙම නඩුවේ 5 වැනි සැකකරු ලෙස ‘බිස් සොලියුෂන්’ (Biz Solutions) සමාගම අද දින නම් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here