ශිරන්ති රාජපක්ෂගේ විවෘත හදවත් සැත්කම ගැන වහාම තහවුරු කර වාර්තා කරන්න – කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්ගෙන් බන්ධනාගාරයට නියෝග.

0
11
හිටපු ජනපතිමතිනිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේදී විවෘත හදවත් සැත්කමකට (Open-heart surgery) ලක්වෙමින් සිටින බවට කෙරෙන ප්‍රකාශවල සත්‍යතාව වහාම තහවුරු කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (13) බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (12) රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී හදිසි හදවත් රෝගී තත්ත්වයකට (Heart attack) ගොදුරු වී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග සැත්කම් ඒකකයට ඇතුළත් කළ බවත්, නඩුව කැඳවන අවස්ථාවේදී ඇය විවෘත හදවත් සැත්කමකට ලක්වෙමින් සිටි බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ ඇය රෝහල්ගත කර ඇති බව සත්‍යයක් වුවද, ඇය මෙලෙස සැත්කමකට ලක්වන බවට බන්ධනාගාර බලධාරීන්ට කිසිදු නිල තොරතුරක් ලැබී නොමැති බවයි.

බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ ඇය කොළඹ ජාතික රෝහලේ 61 වන වාට්ටුවට ඇතුළත් කර ඇති බව පමණක් බවත්, ඇගේ සෞඛ්‍ය තත්ත්වය හෝ සැත්කමක් පිළිබඳ කිසිදු තොරතුරක් එහි සඳහන් නොවන බවත් මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. ඇගේ සෞඛ්‍ය තත්ත්වය සහ සැත්කම පිළිබඳ බන්ධනාගාර බලධාරීන්ගෙන් වාර්තාවක් ලැබෙන තෙක් නඩුව අද (13) පස්වරු 2.00 දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.
මෙම නඩුව ‘සිරිලිය සවිය’ ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන පරීක්ෂණයකට අදාළව පවරන ලද්දකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here