ඥානසාර හිමි වෙනුවෙන් ගිය සජබ නියෝජිතයින්ට මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිගෙන් උපදෙස්.

0
8

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට පැවසීම සාවද්‍ය බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ ප්‍රකාශ කළහ. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (12) මල්වතු මහනාහිමියන් බැහැදැක සාකච්ඡා කළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පෙන්වා දුන්හ.

සමගි ජන බලවේගයේ නියෝජිතයින් මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ සිද්ධිය, සමාජ මාධ්‍ය ඔස්සේ මහා සංඝරත්නයට අපහාස කිරීම සහ වත්මන් දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට සහ කතරගම පෙරහරට බෝම්බ ගැසූ බවට රංජිත් මද්දුම බණ්ඩාර මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දුන් මහනාහිමියන්, දළදා මාලිගාවට බෝම්බ ගැසුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය මිස ජවිපෙ නොවන බව අවධාරණය කළහ. සජබ නායකයින් පැවසූ සමහර චෝදනා (හිටපු දියවඩන නිලමේ නෙරංජන් ප්‍රකාශ කළ ඒවා ඇතුළුව) අසත්‍ය බවද උන්වහන්සේ සඳහන් කළහ.

මහා සංඝරත්නයට සමාජ මාධ්‍ය හරහා සිදු වන අපහාස පිළිබඳව අදහස් දැක්වූ මහනාහිමියන්, මේවා පාලනය කිරීමේ අපහසුතාව පෙන්වා දුන් අතර, ඇතැම් දේශපාලන අදහස් සහ සමාජ මාධ්‍ය හැසිරීම් පාලනය කිරීම දුෂ්කර වී ඇති බව පැවසූහ.

ජාතික ජන බලවේගය බලයට පැමිණියහොත් පෙරහර පවා නතර කරනු ඇතැයි පැවසුවද, අද එවැනි තත්ත්වයක් මතුව නැති බවත් වෙනත් ආගමික උත්සවවලටද ඔවුන් සහභාගී වන බවත් මහනාහිමියෝ පෙන්වා දුන්හ.

සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් මල්වතු මහනාහිමියන් මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක හිමිවරුන්ද බැහැදැක මෙම කරුණු ඉදිරිපත් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here