මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලට හෙට මිලිමීටර් 150 දක්වා තද වැසි

0
10

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (13) දිනය වන විට අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම කාලගුණික විපර්යාසය හේතුවෙන්, හෙට දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා මෙන්ම ඒ වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු සමුද්‍රීය ප්‍රදේශවල ද වැසි තත්ත්වයේ සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය මත ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම මහජනතාව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට නිකුත් කරනු ලබන නිවේදන සහ අනාවැකි පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

හෙට දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර ඉතා තද වැසි පතිත විය හැක. මීට අමතරව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ හටගත හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට දන්වා සිටින අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත ස්වභාවයක් පැවතිය හැකි බවද වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here